“අපි කැමති නෑ” කියලා තියෙද්දීත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආයෙත් එන්නේ ඇයි?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙවියන්ටත් අසල්වැසියන්ටත් ගොඩක් ආදරෙයි. (මතෙව් 22:37-39) ඒ නිසා හැමෝම එක්ක බයිබලේ තියෙන පණිවිඩය බෙදාගන්නවා. “අපි කැමති නෑ” කියලා කෙනෙක් කිව්වත් එයාව ආයෙත් හම්බ වෙන්න යන්නේ ඒ නිසයි. යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ අපිව පොලඹවනවා දේවරාජ්‍යය ගැන “සම්පූර්ණ සාක්ෂියක් දරන්න” කියලා යේසුස් දුන්න අණට කීකරු වෙන්න. (ක්‍රියා 10:42; 1 යොහන් 5:3) ඒ වගේම අසල්වැසියන්ට තියෙන ආදරේ අපිව පොලඹවනවා ජීවිත ගලවන “ශුභාරංචිය” ගැන හැමෝටම කියන්න. (මතෙව් 24:14) ඉස්සර හිටපු අනාගතවක්තෘවරු වගේ නැවත නැවත ගිහින් හැමෝටම, ඒ කියන්නේ මුලින් අහන්න අකමැති වුණ අයට පවා ශුභාරංචිය කියන්නේ ඒ නිසයි.—යෙරෙමියා 25:4.
කලින් අකමැතියි කිව්වත් අපි ආයෙත් ඒ ගෙවල්වලට යද්දී අපේ පණිවිඩයට උනන්දුවෙන් ඇහුම්කන් දෙන අය ඕන තරම් හම්බ වෙනවා. ඒකට බලපාන හේතු තුනක් බලන්න.
අලුත් කට්ටියක් පදිංචියට ඇවිත් ඉන්න පුළුවන්.
ගෙදර ඉන්න වෙන කෙනෙක් පණිවිඩය අහන්න කැමති වෙන්න පුළුවන්.
එයාගේ හිත වෙනස් වෙලා තියෙන්න පුළුවන්. මිනිස්සු හැමදාම එක විදිහට හිතන්නේ නැහැ. ලෝකෙ සිද්ධ වෙන දේවල් නිසාත් ජීවිතේ ප්‍රශ්න නිසාත් එයාලට ලොකු අසරණකමක් දැනෙද්දී “දෙවියන්ගේ මඟ පෙන්වීම්” හොයන්න ආසාවක් ඇති වෙන්න පුළුවන්. (මතෙව් 5:3) කොටින්ම කිව්වොත් කලින් අපේ පණිවිඩයට විරුද්ධ වුණ අයගේ පවා හිත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. බයිබල් ලේඛකයෙක් වුණ පාවුල් ඒ වගේ කෙනෙක්.—1 තිමෝති 1:13.
ඒ කොහොම වුණත් අපේ පණිවිඩය අපි බලෙන් කියන්නෙවත් ඒක පිළිගන්න කියලා කාටවත් බල කරන්නෙවත් නැහැ. (1 පේතෘස් 3:15) කෙනෙක් නමස්කාර කරන්නේ කාටද, ඒක කරන්නේ කොහොමද කියන දේ එක් එක්කෙනා පෞද්ගලිකව ගන්න ඕනෙ තීරණයක් කියලයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපි හිතන්නේ.—ද්විතීය කතාව 30:19, 20.