පසුගිය වසරෙන්
ක්‍රිස්තියානි ජීවිතයට සහ දේවසේවයට උදව් වෙන අලුත් රැස්වීමක්
2015 ඔක්තෝබර් 3වෙනිදා පවත්වපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික රැස්වීමේදී පාලක මණ්ඩලයේ සහෝදර ඇන්තනි මොරිස් විශේෂ නිවේදනයක් කළා. එයා කිව්වේ සේවා පාසැල, සේවා රැස්වීම සහ සභා බයිබල් පාඩම කියන රැස්වීම් වෙනුවට ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය කියලා අලුත් රැස්වීමක් තියන්න යනවා කියලයි. ‘අපගේ රාජ්‍ය සේවාව’ වෙනුවට ‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ ලැබෙනවා කියලත් සහෝදර මොරිස් කිව්වා. පිටු අටක් තියෙන, පාට හතරක් පාවිච්චි කරලා මුද්‍රණය කරන මේ වැඩපොතෙන් සති මැද රැස්වීමේ කොටස් ගැන දැනගන්න පුළුවන්. ඒකට සතියේ බයිබල් කියවීමේ කොටසට අදාළ රූප සටහන් පවා ඇතුළත් කරලා තියෙනවා.
මේ අලුත් රැස්වීම මූලික කොටස් තුනකට වෙන් කරලා තියෙනවා.
දේවවචනය නිධානයක්. පළවෙනි කොටස සතියේ බයිබල් කියවීම සහ වැඩපොතේ තියෙන රූප සටහන් මත පදනම් විනාඩි දහයක කතාවක්. ‘ගැඹුරින් හොයමු’ කියලා හඳුන්වන ඊළඟ කොටස සතියේ බයිබල් කියවීමට අදාළ විනාඩි අටක ප්‍රශ්නොත්තර සාකච්ඡාවක්. අන්තිම කොටස විනාඩි හතරක බයිබල් කියවීමක්.
සේවය හොඳින් කරන්න ඉගෙනගමු. සාමාන්‍යයෙන් මේ කොටසේදී මුල් හමුවීමක්, නැවත බැලීමක් සහ බයිබල් පාඩමක් කරන විදිහ ශිෂ්‍යයන් තුන්දෙනෙක් නිරූපණය කරනවා.
යහපත් ක්‍රිස්තියානීන් වෙමු. මේ කොටසේදී බයිබලයේ ප්‍රතිපත්ති එදිනෙදා ජීවිතයේ අදාළ කරගන්න විදිහ පෙන්නලා දෙනවා. ප්‍රශ්නොත්තර සාකච්ඡාවක් හැටියට කරන සභා බයිබල් පාඩමත් මේ කොටසට ඇතුළත්.
මේ රැස්වීමට ලෝකේ පුරාම ඉන්න ප්‍රචාරකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ සහෝදරයෙක් මෙහෙම ලියලා එව්වා. “අලුත් රැස්වීම නම් නියමයි! ඒකේ තොරතුරු අපේ ජීවිතයට ගොඩක් වටිනවා. සේවයේ ගිහින් කරන ඉදිරිපත් කිරීම් ගැන තියෙන වීඩියොත් හරිම සරලයි. ඒ වගේම කොටස් කෙටි නිසා ප්‍රධාන කරුණු හොඳට ඔළුවට යනවා. වීඩියෝ වගේ දේවල්වලිනුත් රැස්වීම රසවත් වෙනවා. පොඩි ළමයි පවා රැස්වීමේ කොටස්වලට සම්බන්ධ වෙන විදිහ දැක්කාම ලොකු සතුටක් දැනෙනවා. වෙලාව යනවා දැනෙන්නෙවත් නැහැ.”
ඉතාලියේ සභාවක වැඩිමහල්ලන් මෙහෙම ලිව්වා. “හැමෝම දැන් ඉස්සරට වඩා රැස්වීමට ගොඩක් සූදානම් වෙනවා. ඒ නිසා හැමෝගෙම ඉගැන්වීමේ හැකියාවත් දියුණු වෙලා. යෙහෝවා දෙවි අපිට උගන්නන්න ඕන නියම විදිහ දන්නවා. අවුරුදු 15ක ප්‍රචාරකයෙක් අපිට මෙහෙම කිව්වා. ‘කලින් නම් රැස්වීමට අවධානය දෙන්න ටිකක් අමාරුයි. ඒත් මේ අලුත් රැස්වීමට මම හරි ආසයි. මං කාලය අරන් හොඳට සූදානම් වෙනවා.’”
ඔස්ට්‍රියාවේ එක පවුලක් මෙහෙම ලිව්වා. “ඉස්සර අපේ අවුරුදු 10ක් වයස දුවත් එක්ක සතියේ බයිබල් පරිච්ඡේද කියවලා ඒකට සූදානම් වෙන එක ටිකක් අමාරුයි. ඒත් ‘දේවවචනය නිධානයක්’ කියන කොටස නිසා දැන් අපිට වගේම අපේ දුවටත් හොඳින් සූදානම් වෙලා අදහස් දක්වන්න ලොකු ආසාවක් ඇති වෙලා. දෙවිත් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්නත් ඒක දුවට උදව් වෙලා තියෙනවා.”
ජර්මනියේ ඉනෙස් මෙහෙම කිව්වා. “ඉස්සරට වඩා මම දැන් තොරතුරු හොයලා බලලා රැස්වීමට ලෑස්ති වෙනවා. ඒ නිසා දෙවිත් එක්ක තියෙන මගේ බැඳීමත් ශක්තිමත් වෙලා කියලා මට දැනෙනවා. සාතන්ගේ දුෂ්ට සමාජය නිසා අපිට කොච්චර ප්‍රශ්න ආවත් දෙවිගේ උදව්වෙන් ඒවාට හොඳින් මුහුණ දෙන්න මේ රැස්වීම මට උදව් වෙලා තියෙනවා.”
සොලමන් දූපත්වල ඉන්න සහෝදරයන් මේ රැස්වීම හුඟක් අගය කරනවා. එහේ සභා වැඩි හරියක විදුලි බලය, අන්තර්ජාල පහසුකම් නැති නිසා අලුත් රැස්වීමට අදාළ වීඩියෝ බලන්න සහෝදරයන්ට ක්‍රමයක් තිබුණේ නැහැ. එක සභාවක හිටිය ප්‍රචාරකයන් කිහිපදෙනෙක් කොප්පරා විකුණලා සූර්ය බලයෙන් ක්‍රියා කරන වීඩියෝ යන්ත්‍රයක් මිල දී ගත්තා. රැස්වීමට ඕනෙ කරන වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න එයාලා අන්තර්ජාල පහසුකම තියෙන තැනකට හැම මාසෙකම යනවා. ඒකෙන් පේනවා මේ අලුත් රැස්වීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න මේ සහෝදරයන් කොච්චර වෙහෙසෙනවාද කියලා.
එක්සත් ජනපදයේ සහෝදරයෙක් මෙහෙම ලිව්වා. “මට සාමාන්‍යයෙන් කියවන දේවල් ඔළුවට යන්න නම් ආයෙ ආයෙ ඒක කියවන්න ඕනේ. එක පාරක් විතරක් කියවලා ඒක තව කෙනෙක්ට තේරුම් කරලා දෙන්න අමාරුයි. අවුරුදු 40ක් තිස්සේ මට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒත් අපිට අලුත් රැස්වීමේදී ලැබෙන වීඩියෝ, රූප සටහන් නිසා උගන්නන දේවල් හොඳට මතක හිටිනවා. විශේෂයෙන්ම බයිබල් පොත්වලට හැඳින්වීම් කියන වීඩියෝ මාලාව, ඒ වගේම වැඩපොත්වල තියෙන රූප සටහන්වලටත් මම කැමතියි. මම පාලක මණ්ඩලයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. දෙවිගේ සෙනඟ ගැන හිතලා කරන මේ වෙනස්කම්වලට යෙහෝවා දෙවි ඒ සහෝදරයන්ට ආශිර්වාද කරලා තියෙනවා කියලා පැහැදිලියි.”
මලාවි