ජෝර්ජියාව
“දෙවි උදව් කරනවා නම් කරන්න බැරි දෙයක් නැහැ”
නැටෙලා ග්රිගොරියාඩිස්
ඉපදුණේ 1960
බව්තීස්ම වුණේ 1987
තොරතුරු වෙළඳ කළමනාකාරිණියක් විදිහට තමන්ට තිබුණ අද්දැකීම් සහ දන්නා හඳුනන අයගේ උදව් ඇතුව රහසිගතව කෙරුණු මුද්‍රණ වැඩකටයුතු දියුණු කළා.
1980 ගණන්වල අවසාන භාගයේදී ‘මුරටැඹ’ සඟරාවක් තිබුණේ පාඩම මෙහෙයවන සහෝදරයාට විතරයි. ඒකත් අතින් ලියපු එකක්. වැඩිමහල්ලෙක් වුණ ජෙනාඩි ගුඩාඩ්සේ එක්ක මං ඒ ගැන ටිකක් කතා කළා. අපි සඟරා මුද්‍රණය කරමුද කියලා මම ඇහුවා.
ඒ වෙද්දී සහෝදරයන්, අතින් ක්‍රියා කරවන මුද්‍රණ යන්ත්‍රයකින් පොත් පත් කුඩා ප්‍රමාණයක් මුද්‍රණය කළා. ඒත් ඇති තරම් සඟරා මුද්‍රණය කරන්න නම් යතුරුලියනයක්, හොඳ මුද්‍රණ යන්ත්‍රයක්, කඩදාසි සහ දක්ෂ යතුරුලියන්නෙක් අවශ්‍ය වුණා. ඒත් මුද්‍රණයට ඕන දේවල් ගන්න නම් ආණ්ඩුවේ අවසරය ඕනෙ වුණා. මොකද ඒ හැම දෙයක්ම තිබුණේ එයාලා යටතේ.
මට පුළුවන් වුණා යාළුවෙක්ගේ මාර්ගයෙන් පාවිච්චි කරලා අහක දාපු යතුරුලියනයක් හොයාගන්න. මගේ නංගි දක්ෂ යතුරුලියන්නියක්. එයා අපිට උදව් කරන්න කැමති වුණා. සහෝදරයෝ එකතු වෙලා අලුත් මුද්‍රණ යන්ත්‍රයකුත් හැදුවා. කඩදාසි ගන්න පුළුවන් තැනකුත් හොයාගත්තා. හැම දේම පිළිවෙළට සිද්ධ වුණා. ඉක්මනින්ම ජෝර්ජියන් භාෂාවෙන් ‘මුරටැඹ’ සඟරාවේ මුල්ම පිටපත මුද්‍රණය කරන්න අපිට පුළුවන් වුණා.
ඒත් ටික දවසකට පස්සේ කඩදාසි ගන්න වෙන තැනක් හොයාගන්න වුණා. ජෙනාඩි තව තැනක් දැක්කා කියලා කිව්වා. ඒත් ඒක ආණ්ඩුවේ තැනක් නිසා එයා ගියොත් ආණ්ඩුවේ අය සැක කරයි කියලා හිතලා එයා මට යන්න කිව්වා. ඒත් මං කිව්වා “එතැනින් නම් කොහොමටවත් කඩදාසි ගන්න බැහැ” කියලා. මං එහෙම කියපු හැම වෙලාවකදිම ජෙනාඩි කිව්වේ “දෙවි උදව් කරනවා නම් කරන්න බැරි දෙයක් නැහැ” කියලයි.—මතෙ. 19:26.
බය හිතුණත් ජෙනාඩි කියපු දේත් හිතේ තියාගෙන මම කඩදාසි ගන්න තැනට ගියා. මගේ ඉල්ලීම ප්‍රධානියා ළඟට ගෙනියන්න කැමති වුණු කරුණාවන්ත යතුරුලියන්නියක්ව යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීමෙන් මට මුණගැහුණා. ඒ විතරක් නෙමෙයි එයාගේ සැමියා තමයි ඒ කාර්යාලයේ ප්‍රධානියා. ඒ නිසා අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව දිගටම අවශ්‍ය කඩදාසි ඒ කාර්යාලයෙන් ලබාගන්න පුළුවන් වුණා.