පාඨකයන්ගෙන් ප්‍රශ්න
ළඟදීම ජාතීන්ගේ හිත්වලට යෙහෝවා දාන “අදහස” මොකක්ද?
මහත් පීඩාවේ ආරම්භය ගැන එළිදරව් 17:16, 17 මෙහෙම කියනවා. ‘ඔයා දැක්ක අං දහය සහ මෘගයා ගණිකාවට වෛර කරලා ඇයව විනාශ කරනවා. එයාලා ඇයව නිරුවත් කරලා, ඇගේ මස් කාලා දාලා ඇයව සම්පූර්ණයෙන්ම ගින්නෙන් පුච්චලා දානවා. ඒ වගේ දෙයක් වෙන්නේ දෙවියන් එයාලාගේ හිත්වලට යම් අදහසක් දාන නිසයි. එයාලාගේ හිත්වලත් තියෙන්නේ ඒ අදහසමයි. ඒ අදහස නිසා දෙවියන් අරමුණු කරන දේ කරන්න එයාලා පෙලඹෙනවා. එයාලා එයාලාගේ රාජ්‍යය මෘගයාගේ අතට භාර දෙනවා.’ කලින් අපේ ප්‍රකාශනවල කිව්වේ යෙහෝවා ජාතීන්ගේ හිත්වලට දාන්නේ බොරු ආගම් විනාශ කරන්න කියන “අදහස” කියලයි.
හැබැයි අපි ඒක තේරුම්ගත්ත විදිහේ වෙනසක් වෙන්න ඕනේ. ඇත්තටම යෙහෝවා ජාතීන්ගේ හිත්වලට දාන්නේ “එයාලාගේ රාජ්‍යය මෘගයාගේ අතට භාර දෙන්න” කියන “අදහසයි.” ඒක වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න අපි දැන් ප්‍රශ්න කීපයකට උත්තර බලමු.
මේ අනාවැකියේ ප්‍රධාන චරිතවලින් නියෝජනය වෙන්නේ කාවද? “ගණිකාවගෙන්” නියෝජනය වෙන්නේ ලෝකේ පුරාම තියෙන බොරු ආගම්. එයාව “මහ බැබිලෝනිය” කියලත් හඳුන්වනවා. “තද රතු පාට මෘගයාගෙන්” නියෝජනය වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය. 1919දී සාමය ඇති කරන අරමුණෙන් ඒක පිහිටුවද්දී ඒකට කිව්වේ ජාතීන්ගේ සංගමය කියලා. (එළි. 17:3-5) එතකොට “අං දහයෙන්” නියෝජනය වෙන්නේ මෘගයාට සහයෝගය දෙන ලෝකේ පුරාම තියෙන ආණ්ඩු.
ගණිකාවයි, තද රතු පාට මෘගයායි අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්ද? ගණිකාව ඉන්නේ මෘගයාගේ පිට උඩ “ඉඳගෙන.” එයා මෘගයාට ආශීර්වාද කරනවා. ඒ වගේම එයාට ඕන දේ මෘගයා ලවා කරගන්න හදනවා.
ගණිකාවට වෙන්නේ මොනවාද? මෘගයායි, ඌට සහයෝගය දෙන අං දහයයි “ගණිකාවට වෛර කරනවා.” කොච්චරද කියනවා නම් එයාලා ගණිකාවට අයිති හැම දේම උදුරගෙන එයා කොච්චර දුෂ්ටයිද කියලා හැමෝටම පෙන්නනවා. ඊටපස්සේ යෙහෝවා කියපු විදිහටම එයාලා ගණිකාවව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. (එළි. 17:1; 18:8) ඒක තමයි බොරු ආගම්වල අවසානය. හැබැයි ඒක වෙන්න කලින් ඉතිහාසයේ වෙන කවදාවත් වුණේ නැති දෙයක් කරන්න යෙහෝවා ජාතීන්ව පොලඹවනවා.
යෙහෝවා ජාතීන්ව පොලඹවන්නේ මොනවා කරන්නද? යෙහෝවා අං දහයේ හිත්වලට යම් “අදහසක්” දානවා. ඒ තමයි “එයාලාගේ බලයත් අධිකාරියත් මෘගයාට,” ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට දෙන්න කියලා. (එළි. 17:13) පොඩ්ඩක් ඒ ගැන හිතන්න. මිනිස් ආණ්ඩු එයාලාගේ බලය, අධිකාරිය මෘගයාට දෙන්නේ එයාලම හිතලද? නැහැ. අනාවැකියේ පෙන්නනවා එහෙම කරන්න ඒගොල්ලන්ව පොලඹවන්නේ දෙවියන් කියලා. (හිතෝ. 21:1; යෙසා. 44:28) එතකොට ඒක ටිකෙන් ටික සිද්ධ වෙන දෙයක්ද? නැහැ. ඒක එක මොහොතින් සිද්ධ වෙන්න යනවා. ඉතින් ආණ්ඩුවල බලය ලැබුණ මේ මෘගයා යෙහෝවා කියපු විදිහටම බොරු ආගම් හැම එකක්ම නැත්තටම නැති කරලා දානවා.
අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකක්ද? ලෝකේ තියෙන ආණ්ඩු එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩි වැඩියෙන් සහය දෙනවා කියන ප්‍රවෘත්ති අපිට අහන්න, දකින්න ලැබෙයි කියලා අපි හිතන්න නරකයි. එහෙනම් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවාද? යෙහෝවා ජාතීන්ගේ හිත්වලට එයාලාගේ බලය, අධිකාරිය මෘගයාට දෙන්න කියන අදහස දාන්නේ එකපාරටමයි. එතකොට අපි දන්නවා මහත් පීඩාව පටන්ගන්න තියෙන්නේ ඔන්න මෙන්න කියලා. ඒ නිසා අපි “දිගටම අවදිව ඉඳලා හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරමු.” මොකද වෙනස්කම් වෙන ඒ කාලය අත ළඟයි!—1 තෙස. 5:6