අධ්‍යයනයට යෝජනාවක්!
බයිබල් පද මතක තියාගන්නේ කොහොමද?
ඔයා ආස බයිබල් පදයක් මතක තියාගන්න එක ඔයාට කවදා හරි අමාරු වෙලා තියෙනවාද? සමහරවිට ඒක ඔයාට සහනයක් වුණ බයිබල් පදයක් වෙන්න ඇති. වැරදි සිතුවිලි එක්ක සටන් කරන්න උදව් වුණ බයිබල් පදයක් වෙන්න ඇති. නැත්නම් තව කෙනෙක්ට පෙන්නන්න ඕන වුණ බයිබල් පදයක් වෙන්නත් ඇති. (ගීතා. 119:11, 111) ඒ වගේ බයිබල් පද මතක තියාගන්න උදව් වෙන යෝජනා කීපයක් මෙන්න.
‘JW ලයිබ්‍රරි’ ඇප් එක පාවිච්චි කරන්න. ඇප් එකේ “ආසම බයිබල් පද” කියලා ලේබල් ටැග් එකක් හදාගන්න. ඔයා මතක තියාගන්න කැමති බයිබල් පද ඒකට දාගන්න.
බයිබල් පදේ ඔයාට නිතර පේන තැනක ගහගන්න. සමහරු මතක තියාගන්න කැමති බයිබල් පදේ කොළේක ලියලා කණ්ණාඩියේ අලවනවා. තවත් අය ෆ්‍රිජ් එකේ දොරේ ගහනවා. තවත් සමහරු බයිබල් පදේ ෆොටෝ එකක් අරන් ඒක එයාලාගේ ෆෝන් එකේ හරි කොම්පියුටර් එකේ හරි ස්ක්‍රීන් එකට (වෝල්පේපර් එකට) දාගන්නවා.
පුංචි කාඩ් හදාගන්න. කාඩ් එකේ එක පැත්තක බයිබල් පදේ ලියන්න. අනිත් පැත්තේ බයිබල් පදේ තියෙන දේ ලියන්න. ඊටපස්සේ බයිබල් පදේ බලලා මතකෙන් ඒකේ තියෙන දේ කියන්න උත්සාහ කරන්න. නැත්නම් බයිබල් පදේ තියෙන දේ බලලා ඒක බයිබලේ තියෙන්නේ කොතනද කියලා මතක් කරගන්න.