බයිබල් කතන්දර පොත පාඩම් කරමු
1 ලොව පුරා සිටින මිලියන ගණනකගේ ජීවිත වෙනස් කිරීමට දේවවචනයට හැකි වී තිබෙනවා. (හෙබ්‍රෙ 4:12) අප බයිබලයේ සඳහන් සිදුවීම් කියවා ඒවා සිතේ මවාගන්නා විට දේවවචනය අප තුළ ලොකු බලපෑමක් ඇති කරනවා. බයිබලයේ තිබෙන්නේ අතීත සිදුවීම් පිළිබඳ වාර්තා පමණක්ම නොවෙයි. එහි වචන ජීවමානයි. ඒවා අදටත් ඉෂ්ට වෙමින් පවතිනවා. පොත් පාඩමේදී මගේ බයිබල් කතන්දර පොත යොදාගෙන දෙවිගේ වචනය සාකච්ඡා කිරීමෙන් අපට මහත් ප්‍රයෝජන අත් වෙනවා නිසැකයි.
2 බයිබල් කතන්දර පොත මගින් අපට බයිබලය පිළිබඳ මූලික දැනුමක් ලබා දෙනවා. එය සකසා තිබෙන්නේ පහසුවෙන් තේරුම්ගැනීමට මෙන්ම ආස්වාදයක් ලැබිය හැකි ආකාරයෙනුයි. දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් වන ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් වැනි අයවත් සාරා, රෙබෙකා හා රූත් වැනි විශ්වාසවන්ත කාන්තාවන්වත් හොඳින් හඳුනාගැනීමට මෙම පොත අපට උපකාරවත් වෙනවා. කන්ද උඩ දේශනාවේදී යේසුස් කළ කතාව සාකච්ඡා කරන විට අපට දැනෙන්නේ අපත් එය අසාගෙන සිටිනවා වගෙයි. අපිට ඒ සෑම දෙයකින්ම උපරිම ප්‍රයෝජනය ගත හැක්කේ අප පොත් පාඩමට හොඳින් සූදානම් වෙනවා නම් පමණයි. මේ පොත පාඩම් කිරීමෙන් දෙවිගේ වචනය නිතිපතා කියවීමට අප තුළ මහත් ආශාවක් ඇති කරයි. එමෙන්ම එසේ කිරීමෙන් අපේ අවබෝධයද වැඩි වන අතර තෘප්තියක්ද ලැබිය හැකියි.
3 මෙම පොතේ සෑම කාණ්ඩයක් ආරම්භයේදී තිබෙන හැඳින්වීම්ද සලකා බලනවා. එවැනි හැඳින්වීමේ කොටස් කියවීමෙන් පසු පොත් පාඩම් අවේක්ෂක ඊට අදාළව ඔහු සුදානම් කරගත් ප්‍රශ්න අසයි. එසේ කිරීමෙන් එම කාණ්ඩයට අයත් කතන්දර සඳහා හොඳ ආරම්භයක් ලබා දෙනවා.
4 සෑම කතන්දරයක් සඳහාම ප්‍රශ්න කොටස් දෙකකට වෙන් කර තිබෙනවා. මුල් කොටසේදී ප්‍රශ්න අසන්නේ එම කතන්දරය හා එහි සිදුවීම් නැවත සලකා බැලීමටයි. ඉන්පසු දෙවෙනි කොටසේ සඳහන් අමතර ප්‍රශ්න අසන අතර මෙහිදී සලකා බලන්නේ අපට එම කතන්දරයෙන් ඉගෙනගත හැකි පාඩම් ගැනයි. කතන්දරය සම්පූර්ණයෙන්ම කියවූ පසු පාඩම මෙහෙයවන්නා මුලින් සඳහන් කර තිබෙන ප්‍රශ්න අසයි. මේවාට දෙන පිළිතුරු අදාළ කතන්දරය මත පදනම් වූ කෙටි මෙන්ම ඍජු ඒවා විය යුතුයි. පාඩම මෙහෙයවන්නා ඊළඟට අමතර ප්රශ්නය ඇසිය යුතුයි.
5 සෑම අමතර ප්‍රශ්නයකටම පෙර බයිබල් පද සඳහන් වෙනවා. සමහර බයිබල් පද තරමක් දිගයි. පාඩමට සුදානම් වන විට මේ සෑම බයිබල් පදයක්ම කියවන්න. එමෙන්ම සෑම අමතර ප්‍රශ්නයක් අවසානයේදීද බයිබල් පද සඳහන් කර තිබෙනවා. එම බයිබල් පද ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීමට උපකාරවත් වෙනවා. සලකා බැලූ කතන්දරයට බයිබල් පද අදාළ වන ආකාරය ඉස්මතු වන අන්දමට අදහස් විමසීමට පොත් පාඩම පවත්වන්නා වගබලා ගත යුතුයි. ඔහු බයිබලයේ සඳහන් සිද්ධීන් හා ඉන් ඉගෙනගත හැකි පාඩම් වෙත අවධානය යොමු කිරීමට සියලුදෙනාටම උපකාර කළ යුතුයි.
6 මේ පොත අධ්‍යනය කිරීම මගින් දෙවිව සතුටු කරවන ගුණාංග වර්ධනය කර ගැනීමට අපට හැකි වෙනවා. උදාහරණයක් ලෙස 58වෙනි කතන්දරයේ දාවිත්ට තිබුණු ධෛර්ය ගැන පවසනවා. එමෙන්ම ඔහු පිලිස්තීය යෝධයාට මුහුණ දීමට දෙවි කෙරෙහි තිබූ නොසැලෙන විශ්වාසය ගැනත් මනාව විස්තර කරනවා. (1සාමු 17:45-51) ඇතැම් විට යෝධයන් වැනි බාධකවලට මුහුණ දීමට අපටත් සිදු වෙනවා. එවැනි වාර්තා කියවා ගැඹුරින් කල්පනා කිරීම අපට ප්‍රයෝජනවත්. එසේ කිරීමෙන් අපටත් ජීවිතයේ කුමන බාධා කරදර ඇති වුණත් ධෛර්යවත්ව සිට දෙවිගේ නාමයට දිගටම ප්‍රශංසා කිරීමට හැකි වෙනවා. (හිතෝ 22:6) සඳහන් කර තිබෙන බයිබල් පද කියවා කල්පනා කර බැලීමෙන් එම කතන්දරවලින් අපට ඉගෙන ගත හැකි පාඩම් පිළිබඳව අර්ථාන්විත පිළිතුරු ලබා දීමට හැකි වෙනවා. මෙම පොත පාඩම් කිරීම මගින් අපේ පියාණන් වන යෙහෝවා දෙවි වෙත තවත් ළං වීමට හැකියාව ලැබේවා!—යාකො 4:8.