අපේ දේවසේවයෙන් ඉටු වන දේවල්
1. යෙහෝවා අපේ සේවය දෙස බලන්නේ කෙසේද? මිනිසුන්ගේ ප්‍රතිචාරය කුමක්ද?
1 ක්‍රිස්තියානීන් ජයග්‍රාහී පෙරහැරක ගමන් කරන අය මෙන් යෙහෝවාගේ සේවය තුළ නියැලී ඇති බව බයිබලයේ විස්තර කරනවා. (2 කොරි. 2:14-16) දෙවි පිළිබඳ දැනුම බෙදා දෙමින් අප කරන තොල්වල පූජාව, යෙහෝවාට මිහිරි සුවඳක් වගෙයි. ඇතැම් අය මෙම මිහිරි සුවඳට ඇදී එනවා. තවත් අය ඉන් ඉවත් වෙනවා. වැඩිදෙනෙක් අපේ පණිවුඩයට සවන් දෙන්නේ නැති වුණත්, අපේ සේවය අසාර්ථක වන්නේ නැහැ. ඒ තුළින් ඉටු වන දේවල් දැන් අපි සලකා බලමු.
2. අප කරන දේවසේවයෙන් අප පෙන්වන්නේ කුමක්ද?
2 යෙහෝවාගේ නාමය මහිමවත් කිරීම: සාතන් කළ චෝදනාව නම් මිනිසුන් යෙහෝවා දෙවිට සේවය කරන්නේ ඔවුන්ට ලැබෙන ලාභය නිසා බවයි. (යෝබ් 1:9-11) දෙවිට සේවය කිරීමෙන්, අපේ දේවභක්තිය අවංක එකක් බව පෙන්විය හැකියි. කොතරම් බාධක අවහිරකම් තිබුණත්, ජනයා උදාසීනකමක් දැක්වුවත්, දේශනා කිරීමට හා ගෝලයන් වීමට ජනයාට උපකාර කිරීමට දී ඇති ආඥාවට බොහෝ ප්‍රචාරකයන් කීකරු වෙනවා. මෙවන් පක්ෂපාතකමත් විඳදරාගැනීමත් යෙහෝවාගේ හදවත සතුටු කරයි.—හිතෝ. 27:11.
3. දෙවිගේ නාමය සහ අරමුණ නොකඩවා දැනුම් දීම වැදගත් ඇයි?
3 තවද අපේ සේවය දෙවිගේ අරමුණ තුළ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. සාතන්ගේ ලෝකය මතට පැමිණෙන විනාශය ගැන යෙහෝවා පවසන්නේ “ජාතිහුද මම . . . යෙහෝවායයි දැනගන්නෝය” කියායි. (එස. 39:7) ජාතීන් මෙය දැනගැනීමට නම්, දෙවිගේ සේවකයන්, “සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත්” ඔහුගේ නාමය සහ අරමුණ නොකඩවා දැනුම් දීම අනිවාර්යයි.—එළි. 14:6, 7.
4. දේශනා කිරීම විනිශ්චය සඳහා පදනමක් වන්නේ කෙසේද?
4 විනිශ්චය සඳහා පදනම: ශුභාරංචිය දේශනා කිරීම විනිශ්චය සඳහා පදනමක්ද වෙනවා. ප්‍රේරිත පාවුල් සඳහන් කළේ ක්‍රිස්තුස් යේසුස් “දෙවිව නොදන්නා අයගෙන්ද අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයගෙන්ද” පළිගන්නා බවයි. (2 තෙස. 1:8, 9) ජනයාව විනිශ්චය කෙරෙන්නේ ශුභාරංචියට දක්වන ප්‍රතිචාරයට අනුවයි. එසේනම් දේවසේවකයන්ට පැවරී ඇති වගකීම මොන තරම්ද! අප ලේ වරදින් බේරීමටත්, ඔවුන්ගේ ජීවිත ගැලවීමටත් රාජ්‍ය පණිවුඩය කතා කිරීමෙන් අප කොහෙත්ම වැළකී නොසිටිය යුතුයි.—ක්‍රියා 20:26, 27.
5. දෙවිගේ දයානුකම්පාව අපේ සේවය තුළින් විදහාපාන්නේ කෙසේද?
5 දෙවිගේ අනුමැතිය දිනාගැනීමට අප නොකඩවා ජනයාට උපකාර කරද්දී අප පෙන්වන්නේ යෙහෝවාගේ දයාවයි. (1 තිමෝ. 2:3, 4) මිනිසුන්ගේ ජීවිත නොකඩවා වෙනස් වෙනවා. කාලයද තවමත් ඉතිරිව තිබෙනවා. මේ නිසා අපි නැවත නැවතත් ඔවුන් කරා යමු. එසේ කිරීමෙන් ‘සියලුදෙනාම පසුතැවිල්ල කරා පැමිණෙනවාට මිස කිසිවෙකුත් විනාශ වනවාට අකමැති දෙවිගේ’ “ගැඹුරු දයානුකම්පාව” අපි අනුන්ට පෙන්වමු.—ලූක් 1:78; 2 පේතෘ. 3:9.
6. යෙහෝවාගේ සේවයේ නිතරම නියැලී සිටීම අපටම ප්‍රයෝජනයක් වන්නේ කෙසේද?
6 අපටම ගත හැකි ප්‍රයෝජන: යෙහෝවාගේ සේවය තුළ නිතරම නියැලීම අපටම ආරක්ෂාවක්. ‘යෙහෝවාගේ දවස පැමිණීම බලා සිටින්නටත්’ මේ සමාජ ක්රමයේ නරක දේවලින් කිලිටි නොවී සිටීමටත් එය අපට මහඟු උපකාරයක්. (2 පේතෘ. 3:11-14; තීත. 2:11, 12) එමනිසා අපි අපගේ සේවය නිෂ්ඵල නොවන බව දැනගෙන ‘ස්ථිර වෙමු, නොසැලී සිටිමු. ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටිමු.’—1 කොරි. 15:58.