කාලය නාස්ති කරන්න එපා!
1 අපගේ ආශාව යෙහෝවාව සතුටු කිරීමයි. ඒ නිසා අපේ ජීවිත නමස්කාරය වටා ගොඩනැඟීමයි අපේ ඉලක්කය. බයිබලයේ උපදෙස නම්, ‘පළමුව රාජ්‍යය සෙවීම’ සහ ‘වඩා වැදගත් දේවල් සහතික කරගැනීමයි.’ (මතෙ. 6:33; ෆිලි. 1:10) එසේනම්, ජීවිතයේ නමස්කාරයට හා සේවයට මුල් තැන දෙන්නේ කෙසේද?—එෆී. 5:15-17.
2 දේවරාජ්‍යයට මුල් තැන දෙන්න: මේ සඳහා හොඳම දේ කාලය සැලසුම් කිරීමයි. ඔබේ දිනදර්ශනයේ සෑම මසකම ක්ෂේත්‍ර සේවයේ යෙදීමට හැකි දවස් ලකුණු කරන්න. රැස්වීම්වලට, පෞද්ගලික පාඩමට සහ සමුළුවලට සහභාගි වීමට මෙලෙසම කාලය සැලසුම් කළ හැකියි. බොහෝදෙනෙක් තම දවස පටන්ගන්නේ සහ නිම කරන්නේ බයිබලය කියවීමෙන්. වැදගත් දේට කාලය වෙන් කළායින් පසුව අනවශ්‍ය දේවල් එම වේලාවලට යොදාගන්න එපා.—දේශ. 3:1; 1 කොරි. 14:40.
3 කාලය නාස්ති කරන්න එපා: ක්‍රීඩා, විනෝදාස්වාදය වැනි දේවලට බොහෝ කාලයක් යොමු කිරීමත් අද ප්‍රශ්නයක් වෙලා. බොහෝදෙනෙක් රූපවාහිනිය නැරඹීමට හා පරිගණකය පාවිච්චි කිරීමට මිඩංගු කරන කාලය ඉතා වැඩියි. මේ නවීන ලෝකයේ මෙවලම්වලට වහල් වුණොත් අද්දකින්න වෙන්නේ කලකිරීම පමණයි. (1 යොහ. 2:15-17) මේ නිසා, බයිබලය අපට දිරිගන්වන්නේ මේ ලෝකයේ දේවලට වහල් වෙන්න එපා කියායි. (1 කොරි. 7:31) අපි ඒ අවවාදයට කීකරු වීමෙන් ජීවිතයේ මුල් තැන යෙහෝවාගේ නමස්කාරයට දී ඇති බව පෙන්වමු.—මතෙ. 6:19-21.
4 මේ සමාජ ක්‍රමය පවතින්නේ තව බොහොම ටික කාලයයි. දේවරාජ්‍යයට මුල් තැන දුන් අය දෙවිගේ අනුමැතිය ලබනවා නිසැකයි. (හිතෝ. 8:32-35; යාකො. 1:25) එසේනම්, කාලය වටිනවා. එය නාස්ති කරන්න එපා!