ඔබේ ක්ෂේත්‍ර සේවය නිවැරදි ලෙස වාර්තා කරන්න
1 “සියල්ල විනීතවද පිළිවෙළකටද සිදු වේවා!” කියා පාවුල් 1 කොරින්ති 14:40හි අපට උපදෙස් දී තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය අපේ ක්ෂේත්‍ර සේවය වාර්තා කිරීමටද අදාළ වෙනවා. රටවල් 235ක වෙසෙන සහෝදර සහෝදරියන් එකම විදිහට තම සේවය වාර්තා කරන නිසා නිවැරදි වාර්තාවක් දැකගැනීමට අපට හැකියාව තිබෙනවා. එසේනම්, ක්ෂේත්‍ර සේවයේ ගත කරන කාලය නිවැරදිව වාර්තා කරන්නේ කොහොමද? නැවත බැලීම් වාර්තා කරන නියම විදිහ කුමක්ද?
2 පැය ගණන: ඔබ වාර්තා කරන ක්ෂේත්‍ර සේවා කාලය පටන් ගත යුත්තේ ඔබ සාක්ෂි දැරීම ආරම්භ කරන වේලාවේ සිට අන්තිම නිවසට කතා කර අවසන් වූ පසු වේලාව දක්වායි. එක පුද්ගලයෙකුව හමු වී තවත් පුද්ගලයෙකුව හමුවීමට යෑමේදී ගත වන කාලය සහ එම පුද්ගලයා ඔබ සමඟ කතා කිරීමට එන තෙක් ස්වල්ප වේලාවක් බලා සිටීමට සිදු වේ නම් ඒ කාලයද මීට ඇතුළත් විය හැකියි. ඔබ මෙහිදී වාර්තා කරන්නේ දේශනා සේවයට ඔබ මිඩංගු කළ කාලය මිසක ඔබ කොතරම් කාලයක් කතා කිරීමට මිඩංගු කළාද යන්න නොවේ. ක්ෂේත්‍ර සේවය අතරතුරේදී යම් ආහාර පාන ගැනීමට මිඩංගු කරන කාලය මෙහිදී අප වාර්තා නොකරන බව අමුතුවෙන් කිව යුතු නැහැ. කරුණාකර යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වී සිටීම (සිංහලෙන් නැත) පොතේ 85 සිට 87 දක්වා පිටු හෝ අපගේ දේවසේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම නමැති පොතේ පිටු 102 සිට 104 දක්වා බලන්න.
3 ප්‍රසිද්ධ කතා දෙන සහෝදරයන්ට කතාව ඉදිරිපත් කිරීමට වැය කළ කාලය වාර්තා කළ හැකියි. ප්‍රසිද්ධ කතාවක් පරිවර්තනය කරන සහෝදරයෙකුට එම කාලය වාර්තා කළ හැකිදැයි ඇතැම් අය කල්පනා කර තිබෙනවා. ඔව්, කතාව දෙන සහෝදරයා සහ කතාව පරිවර්තනය කරන සහෝදරයා යන දෙදෙනාටම ඒ සඳහා ගත වූ කාලය වාර්තා කළ හැකියි.—1992 සැප්තැම්බර් අපගේ රාජ්‍ය සේවාව 7වන පිටුව.
4 සභාවට වාර්තා කළ යුත්තේ සම්පූර්ණ පැය පමණයි. යම් විනාඩි කිහිපයක් ඉතිරි වී තිබේ නම්, එය ඊළඟ මාසයේ වාර්තාවට ප්‍රචාරකයා විසින් ඇතුළත් කළ හැකියි. කෙසේවෙතත්, විනාඩි 15 බැගින් වාර්තා කිරීමට විශේෂ සැලසුමක් තිබෙන්නේ මහලු අබල දුබල අයට පමණක් බව මතකයට ගන්න. —යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වී සිටීම පොතේ 87වන පිටුව.
5 නැවත බැලීම්: උනන්දුව දක්වන පුද්ගලයන්ව අපට හමුවන විට, අපි ඔවුන්ව නැවත හමු වී එම උනන්දුව තව තවත් දියුණු කරමු. දෙවන වතාවට හමු වී කතා කරන විට, එය නැවත බැලීමක් ලෙසට වාර්තා කෙරෙනවා. ඔබ නැවත ගොස් සඟරා දෙකක් ඉදිරිපත් කරන විටද ඔබට එය නැවත බැලීමක් ලෙසට වාර්තා කරන්නට පුළුවන්. අප නැවත යන විට අප සමඟ කතා කරන්නට ඔවුන්ට කාලය නැත්නම්, ටිකක් කතා කර හෝ පත්‍රිකාවක් දී නැවත හමු වීමට සැලසුම් කරනවා. මෙහිදීත් අපට නැවත බැලීමක් ලෙස වාර්තා කළ හැකියි. ඔබ බයිබල් පාඩමක් පවත්වන සෑම අවස්ථාවකදීම නැවත බැලීමක් ලෙස වාර්තා කළ හැකි බව අමතක කරන්න එපා. ඔබ යම් උනන්දුව දක්වන කෙනෙක්ව රැස්වීමකට කැඳවා ගෙන යන විටද එය නැවත බැලීමක් ලෙසට වාර්තා කළ හැකියි. දුරකථන ඇමතුමකින් හෝ ලිපියක් මගින් ප්‍රසිද්ධ කතාවකට හෝ විශේෂ රැස්වීමකට යම් පුද්ගලයෙකුට ආරාධනා කිරීමද නැවත බැලීමක් ලෙසට වාර්තා කළ හැකියි.
6 ඔබේ දිනපතා ක්ෂේත්‍ර සේවය ගැන වාර්තාවක් තබාගන්න: නිවැරදිව වාර්තා කිරීම පිණිස, ඔබ මිඩංගු කළ කාලය, බෙදා දුන් පොත් ගණන, ක්ෂේත්‍ර සේවයේ කළ නැවත බැලීම් ගණන යන මේවා ලියාගැනීම වඩාත් හොඳම දෙයයි. මාසය අවසානයේදී මේවා එකතු කිරීමෙන් ඔබට නිවැරදි වාර්තාවක් ඉදිරිපත් කළ හැකියි. සභාවෙන් සැපයෙන ක්ෂේත්‍ර සේවා වාර්තා පත මේ සඳහා පාවිච්චි කිරීමට හැකි නම් හොඳයි.
7 මාසයක මුලදීම ඊට පෙර මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ඔබේ පොත් පාඩම් අවේක්ෂකට භාර දෙන්න. සභා ලේකම් මෙම වාර්තා එකතු කර එම මාසයේ හය වෙනිදාට පෙර ශාඛා කාර්යාලයට යවනවා ඇත. ඔබ මාස තුනකට වඩා අඩු කාලයක් සභාවෙන් පිටව සිටින්නේ නම්, ඔබේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ඔබේම සභාවට ලැබීමට සලස්වන්න.—යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම පොතේ 89වන පිටුව හෝ අපගේ දේවසේවය සම්පූර්ණ කිරීමට සංවිධානය වීම පොතේ 105වන පිටුව.
8 ඔබ වාර්තාව ප්‍රමාද වී ඉදිරිපත් කළොත්? එවිට ඊළඟ මාසයේදී ඔබව ප්‍රචාරකයෙක් වශයෙන් දෙවරක් ගණන් ගනු ලබනවා ඇති. සේවා වසර අවසානයේදී මෙය නිවැරදි වාර්තාවක් බවට පත් වේවි. මාස දෙකේදීම ඔබ බෙදා දෙන පොත් පත් සඟරා ගණන, බයිබල් පාඩම් හා නැවත බැලීම් ගණන ශාඛා කාර්යාලයට යවන වාර්තාවට එකතු වෙනවා ඇති. අනතුරුව ඔබගේ වාර්තාව සභා ප්රචාරක කාඩ් පතේ ඒ එක් එක් මාසවලට අදාළ වන ලෙසට වාර්තා කෙරෙනවා.
9 අපගේ වාර්ෂික පොතේ වාර්තාව සෑම විටම දිරිගන්වනසුලු වාර්තාවක්. දෙවිගේ සෙනඟ තමන් දෙවිට කරන සේවය ගැන නිවැරදිව වාර්තා කරද්දී ඉන් පිළිබිඹු වන්නේ ඔවුන් දෙවිගේ සැලසුම්වලට නිහතමානීව යටත් වන බවයි. මේ මගින් නිවැරදි සංඛ්‍යා ලේඛන අපට වාර්ෂික පොතෙන් දැකගන්නට පුළුවන්. මේ නිසා එය අපේ ප්‍රීතියට හේතු වෙනවා.