හදිසිතාවේ හැඟීමක් තබාගන්න!
1 පොළොව මත තම පියාගේ වැඩ ඉටු කිරීමට තමාට තිබෙන්නේ සීමිත කාලයක් බව යේසුස් දැනසිටියා. (යොහන් 9:4) එමනිසා, ඔහු තම සේවය හදිසිතාවේ හැඟීමකින් කළ අතර තම ගෝලයන්ටද එසේ කිරීමට පුහුණු කළා. (ලූක් 4:42-44; 8:1; 10:2-4) ජීවිතය පහසු කරන ද්‍රව්‍යමය දේවල් ඔහුට එතරම් වැදගත් වුණේ නැහැ. (මතෙ. 8:20) මෙබැවින් යෙහෝවා දෙවි ඔහුට දී තිබූ වැඩ නිම කිරීමට ඔහුට හැකි වුණා.—යොහ. 17:4.
2 සීමිත කාලයක්: ශුභාරංචිය “මුළු ජනාවාස පොළොව පුරාම” දේශනා කිරීමට ඇත්තේද සීමිත කාලයක්. (මතෙ. 24:14) බයිබල් අනාවැකි එළිදරව් කරන්නේ අප අන්තිම කාලයේ අද්දර ජීවත් වන බවයි. ඉතා ඉක්මනින් ‘දෙවිව නොදන්නා අයද අපේ ස්වාමීන් වන යේසුස් පිළිබඳ ශුභාරංචියට කීකරු නොවන අයද . . . සදාකාල විනාශය නමැති යුක්තිසහගත දඬුවම විඳින්නෝය.’ (2 තෙස. 1:6-9) එම විනිශ්චය පැමිණෙන්නේ ක්ෂණිකවයි. (ලූක් 21:34, 35; 1 තෙස. 5:2, 3) ජනයා තමන් ඉදිරියේ තිබෙන භයානක තත්වය ගැන අවදියෙන් සිටිය යුතුයි. ඉතිරිව තිබෙන කාලයේ යෙහෝවාගේ අනුමැතිය ලබාගැනීමට ඔවුන්ට උපකාර කිරීම අපගේ වගකීමයි.—ශෙප. 2:2, 3.
3 අපට කළ හැකි සියල්ල කිරීම: “ඇත්තේ තව කෙටි කාලයකි” යන්න තේරුම්ගන්නා නිසා දෙවිගේ සේවකයන් දේශනා වැඩයට මුල්තැන දෙයි. (1 කොරි. 7:29-31; මතෙ. 6:33) සමහරෙක් වැඩි කාලයක් දේශනා සේවයේ සහභාගිවීම සඳහා ආර්ථික වාසි ගෙනදෙන ප්‍රස්තාවන් හෝ වෙනත් පෞද්ගලික දේවල් පසෙක දමා තිබෙනවා. (මාක් 10:29, 30) වෙනත් අයට පරීක්ෂා තිබුණත් ඒවා විඳදරාගනිමින් ‘ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටිනවා.’ (1 කොරි. 15:58) බොහෝදෙනෙක් දෙගෙඩියාවෙන් තොරව දශක ගණනාවක් පුරා ශුභාරංචිය ප්‍රසිද්ධියේ දේශනා කරමින් සිටිනවා. (හෙබ්‍රෙ. 10:23) රාජ්‍ය වැඩ කටයුතු වෙනුවෙන් කරන එවැනි සෑම පරිත්‍යාගයක්ම යෙහෝවා ඉතාමත් ඉහළින් අගය කරනවා.—හෙබ්‍රෙ. 6:10.
4 දේශනා වැඩයද ඇතුළත් යෙහෝවාගේ නමස්කාරය මත අපගේ ජීවිත කේන්ද්‍රගත කිරීම, යෙහෝවාගේ දවස අපගේ මනසේ ප්රමුඛව තබාගැනීමට හැකියාවක් ලබාදෙනවා. එය සාතන්ගේ ලෝකයට ඇදී යෑමෙන් අපව ආරක්ෂා කරන අතර ශුද්ධ හැසිරීමක් පවත්වාගැනීමට අප තුළ තිබෙන අදිටනද ශක්තිමත් කරනවා. (2 පේතෘ. 3:11-14) ඇත්තෙන්ම, අප අපගේ දේවසේවය හදිසිතාවේ හැඟීමකින් යුතුව කරගෙන යෑමෙන් අපවත් අපට සවන් දෙන අයවත් ගලවාගත හැකියි.—1 තිමෝ. 4:16.