ප්‍රිය රාජ්‍ය ප්‍රචාරකයෙනි:
දිස්ත්‍රික් සමුළුවට ගිය ඔබ සැමට යෙහෝවාගෙන් ලැබුණු ආත්මික තෑගි ඔබ මහත් සේ අගය කරනවාට සැකයක් නැත. සහෝදර සහෝදරියන්ව ඇසුරු කරන්න ලැබුණු ප්‍රස්තාවත් ප්‍රණීත ආත්මික ආහාර භුක්ති විඳින්න ලැබීමත් මොන තරම් ප්‍රීතිමත් අද්දැකීමක් වූවාද! දැන් අප සතුව තිබෙන අලුත් දේවල් අපට මෙන්ම දේවසේවයේදී අපට හමු වන අයටත් බොහෝ සේ ප්‍රයෝජනවත් වන බව ඔබ දකීවි.
අප බෙතෙල්හි පවත්වනු ලබන උදෑසන නමස්කාරයේදී, ක්ෂේත්රයේදී ඔබ කරන සේවය වෙනුවෙන් යෙහෝවාගේ ආශීර්වාද පතා නිතරම යාච්ඤා කරන බව ඔබට පවසන්න සතුටුයි. දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන්න සිදු වුවත් යෙහෝවා ඔහුගේ කැමැත්ත කරන අයට සහය ලබා දෙන බව අපි දනිමු. මේ ‘අන්තිම දවස්වලදී’ ඔහුගේ කැමැත්ත කිරීමෙහි හවුල් වෙන්න ලැබීම වරප්රසාදයකි. බෙතෙල්හි සේවය කරන අපි මොල්ඩෝවාවේ සහෝදරයෝ කරන සේවය ගැන 2004 වාර්ෂික පොතෙන් කියවන්නෙමු. ඒ රටේ සැබෑ නමස්කාරය නැති කර දමන්න දැරූ වෑයම් ගැන 120වන පිටුවේ මෙසේ සඳහන් වේ. “සෝවියට් දේශයේ සාක්ෂිකරුවන්ව පිටුවහල් කරන්න වැඩ පිළිවෙළක් සකස් කරන ලදි. එහෙත් එමගින් සිදු වූයේ ‘පොළොවේ ඈත කෙළවරෙහි ඇති [ඇතැම්] ස්ථාන දක්වා’ ශුභාරංචිය පතුරුවාහැරීම සඳහා ඔවුන් නොදැනුවත්වම සහයෝගය දීමයි. (ක්‍රියා 1:8) යෙහෝවා යෙසායා මගින් මෙසේ පොරොන්දු වූයේය. ‘ඔබට විරුද්ධව සෑදූ කිසි ආයුධයක් සපල නොවන්නේය.’ (යෙසා. 54:17) මේ වදන් කොතරම් සැබෑ වී තිබේද!” අප විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන විට එයින් අපට ලැබෙන්නේ මොන තරම් මහත් දිරිගැන්වීමක්ද! යෙහෝවා අපට උපකාර කරන බව මතක තබාගන්න.
සිහි කිරීමේ කාලය, සහෝදර සහෝදරියෝ උද්යෝගයෙන් රාජ්‍ය කටයුතුවල හවුල් වූ කාලයක් විය. මෙවර සිහි කිරීමට 9,070දෙනෙක් පැමිණ සිටියහ. පැමිණි සංඛ්‍යාව ගිය අවුරුද්දට වඩා ටිකක් අඩු වුවත් ඒ කාලයේ පැවති තත්වයන් දෙස බලද්දී එය සැලකිය යුතු සංඛ්‍යාවකි.
දෙදහස් පහ සේවා වසර ආරම්භ වෙද්දී ඔබ සමඟ එක්ව “ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටින්න” අපි ආශාවෙන් සිටිමු.—1 කොරි. 15:58.
ඔබේ සහෝදරයෝ,
ශ්‍රී ලංකා ශාඛා කාර්යාලය