දෙවිගේ අනුබලය ලැබෙන කාර්යයක්
1 අද දින දෙවිගේ සේවකයන් අතර, මේ සමාජ ක්‍රමය තුළින් ඉහළ අධ්‍යාපනයක්, ධනයක් හෝ උසස් තනතුරක් ලබා ඇත්තේ ස්වල්පදෙනෙකි. ඒ හේතුව නිසා, ඇතැම් අය අප කරන දේවසේවය සුළු කරති. (යෙසා. 53:3) කෙසේවෙතත්, අප නිරතව සිටින බයිබල් අධ්‍යාපනික කාර්යය මගින් ලොව වටා මිලියන ගණනකට සැනසීමක් හා බලාපොරොත්තුවක් ලබා දී ඇත. සාමාන්‍ය ජන පිරිසක් එවන් උසස් ප්‍රතිඵල අත් කරගෙන ඇත්තේ කෙසේද? දෙවිගේ අනුබලයෙන් පමණි. (මතෙ. 28:19, 20; ක්‍රියා 1:8) “දෙවි ප්‍රඥාවන්තයන්ව ලජ්ජාවට පත් කරන පිණිස, ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්තේය” කියා ප්‍රේරිත පාවුල් පැහැදිලි කරයි.—1 කොරි. 1:26-29, NW.
2 ප්‍රේරිතයන් සහ පළමු සියවසේ විසූ වෙනත් ක්‍රිස්තියානීහු වැඩිදෙනෙක් ‘නූගත් සාමාන්‍ය මිනිස්සු’ වූහ. (ක්‍රියා 4:13, NW) එහෙත්, ඉතා නිර්භීතව ශුභාරංචිය දිගටම දේශනා කළ අතර, යෙහෝවා ඔවුන්ගේ ප්‍රයත්නවලට ආශීර්වාද කළේය. කොතරම් බාධා සහ විරුද්ධවාදිකම් තිබුණත්, “බලගතු ලෙස යෙහෝවාගේ වචනය දිගටම වර්ධනය වෙමින් බලවත් වුණේය.” කිසිම දෙයකට එය නවත්වන්නට නොහැකි විය. මන්ද ඊට අනුබල දෙනු ලැබුවේ දෙවි විසිනි. (ක්‍රියා 5:38, 39; 19:20, NW) මේ කාලයේද එයම සැබෑවක් වී තිබේ. ප්‍රබල පාලකයන් විසින් අපට විරුද්ධ වීමට කොතරම් අධිෂ්ඨාන කරගෙන සිටියද, ශුභාරංචිය දිගින් දිගටම පැතිරීම සහ වර්ධනය වීම නවතාලන්නට හැකි වී නැත.—යෙසා. 54:17.
3 සියලු ප්‍රශංසාව දෙවිටය: දෙවිගේ සේවකයන් හැටියට අප භුක්ති විඳින ප්‍රසාදලත් තත්වය නිසා අප ගැනම පාරට්ටු කරගැනීමට එය හේතුවක්ද? කොහෙත්ම නැත. ක්‍රිස්තියානි දේවසේවය ගැන කතා කරමින් පාවුල් පැවසුවේ මෙයයි. “සාමාන්‍ය ඉක්මවූ බලය අපගෙන් නොව දෙවිගෙන් ලැබෙන බව පෙනෙන පිණිස අපි මේ වස්තුව මැටි භාජනවල දරමු.” (2 කොරි. 4:7, NW) තමා කළ දේවසේවය දිගටම කරගෙන යෑමට හැකි වූයේ දෙවි දුන් ශක්තිය නිසා පමණක් බව පාවුල් වටහාගත්තේය.—එපී. 6:19, 20; පිලි. 4:13.
4 දේශනා වැඩය ඉෂ්ට කරනු ලබන්නේ අපට ‘දෙවිගෙන් ලැබී තිබෙන උපකාරය’ නිසා පමණක් බව අපිද වටහාගනිමු. (ක්‍රියා 26:22, NW) එවන් ලෝකව්‍යාප්ත ප්‍රකාශ කිරීමක් මගින්, යෙහෝවා අපව ඉතා විශේෂාකාරයකින් යොදාගනිමින් සිටින්නේ ජාතීන්ව සෙලවීමටය. මෙය භයානක විනිශ්චයක් පැමිණෙන බවට ලකුණකි. (හග්. 2:7) මෙම උතුම් ආත්මික අස්වැන්න නෙළීමේදී ‘දෙවිගේ හවුල් වැඩකරුවන්’ ලෙස සේවය කිරීමට හැකි වීම සම්බන්ධයෙන් අපි කොතරම් වරප්‍රසාද ලත් සෙනඟක් වෙමුද!—1 කොරි. 3:6-9.