පසුබට වන්න එපා!
1 ගෙයින් ගෙට සේවය සඳහා පිටත්ව යෑමට සූදානම් වන විට, අපට මහත් අභියෝගයක් විය හැක්කේ අපවමයි. ගෙයින් ගෙට ගොස් මිනිසුන්ට කතා කරන්න තරම් ප්‍රමාණවත් සුදුසුකම් තමන්ට නැතැයි කියා හැඟෙන විට “සියලු ආකාර මිනිසුන්ට [NW]” සත්‍යය ගැන කතා කරන්න අප පසුබට විය හැකියි. (1 තිමෝ. 2:3, 4) ඒ වුණත් ශුභාරංචිය ගැන මිනිසුන්ට කතා කරන්න අපි පසුබට නොවිය යුතුයි. ඇයි අපි පසුබට නොවිය යුත්තේ?
2 මෙය යෙහෝවාගේ පණිවිඩයක්: යෙහෝවා බයිබලය යොදාගනිමින් තමන් පිළිබඳ දැනුම මිනිසුන්ට සපයා තිබෙනවා. අපි බයිබලයෙහි සඳහන් පණිවිඩය මිනිසුන් වෙතට රැගෙන ගොස් ඔවුන් සමඟ බෙදාගන්නේ දෙවිගේ අදහස් මිස, අපේ අදහස් නොවෙයි. (රෝම 10:13-15) ඇතැම් අය රාජ්‍ය පණිවිඩය ප්‍රතික්ෂේප කරන විට, ඇත්තෙන්ම ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ යෙහෝවාවයි. ඒත්, අපි අධෛර්යයට පත් වෙන්නේ නැහැ. අද ලෝකයේ පවතින තත්වයෙහි සැබෑ වෙනසක් මහත් ඕනෑකමින් බලා සිටින අය හා තමන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින අය යම් දවසක රාජ්‍ය පණිවිඩයට යහපත් ප්‍රතිචාරයක් දක්වන බව අපට විශ්වාසයි.—එස. 9:4; මතෙ. 5:3, 6.
3 යෙහෝවා මොළොක් ගුණැති ජනයාව ඇදගනියි: කාලයකට ඉහතදී අපට සවන් දෙන්න අකමැති වූ කෙනෙක් දැන් සවන් දෙන්න කැමති විය හැකියි. සමහරවිට මෙයට හේතුව ඔහු දැන් මුහුණ දෙන තත්වයන් වෙනස් වී තිබීම හෝ ඔහුගේ හෘදය මොළොක් වී තිබීම විය හැකියි. යෙහෝවා දැන් මේ තැනැත්තා කෙරෙහි කරුණාව දක්වා ඔහුව ‘තමන් වෙතට ඇදගැනීමට’ ඉඩ තිබෙනවා. (යොහ. 6:44, 65) මෙවන් තත්වයකදී ඒ සඳහා යෙහෝවා විසින් අපව යොදවාගත හැකි වන පරිදි අපි සූදානම් වී සිටිය යුතුයි. එමෙන්ම එවන් අයව සෙවීමේදී දේවදූතයන් සපයන මඟ පෙන්වීමටද යටත් විය යුතුයි.—එළි. 14:6.
4 දෙවි ඔහුගේ ආත්මය සපයයි: ශුද්ධාත්මය මගින් “යෙහෝවා සපයන බලය නිසා නිර්භීතව, [NW]” කතා කරන්න අවශ්‍ය ශක්තිය අපට ලැබෙනවා. (ක්‍රියා 14:1-3) අපේ දේවසේවය සාර්ථකව කරගෙන යෑම සඳහා ශුද්ධාත්මයේ ප්‍රබල සහය අපට ලැබෙන බව මතක තබාගන්නවා නම්, අපේ අසල්වාසීන්ට, රැකියා ස්ථානයේ හා පාසැලේ සිටින අයට, ඥාතීන්ට, උගත් හෝ ධනවත් වේවා ඕනෑම කෙනෙකුට සත්‍යය ගැන කතා කරන්න අපි පසුබට වෙන්නේ නැහැ.
5 සේවය කළ යුතු ආකාරය ගැන යේසුස් අපට ඉගැන්වුවා: යේසුස් සිතුවිලි පුබුදුවාලන ප්‍රශ්න හා අර්ථය කාවද්දවනසුලු උපහැරණ යොදාගත්තා. ඒ වගේම ශුද්ධ ලියවිලි යොදාගනිමින් තර්කානුකූලව කාරණා පැහැදිලි කළා. ඔහු ජනයාට සත්‍යය පැහැදිලි කළේ සරලවයි. ජනයාගේ සිත් ඇදී යන අයුරින් හදවතින්ම කතා කළා. අදත් අපට යොදාගත හැකි හොඳම ක්‍රම ඒවායි. (1 කොරි. 4:17) එදාට වඩා අද පවතින තත්වයන් වෙනස් වුවත්, රාජ්‍ය පණිවිඩය සතු බලය තවමත් එලෙසම පවතී.
6 සුවිශේෂ ආකාරයකින් ජනයාට උපකාර කිරීමට යෙහෝවා විසින් අපව යොදාගැනීම ඇත්තෙන්ම මහත් වරප්‍රසාදයක්. අපි කිසිවිටකත් පසුබට නොවෙමු. ධෛර්යය උපදවාගනිමු. අන් අයට ශුභාරංචිය ‘දේශනා කරන්නට අපට දොරක් ඇර දෙන්න’ යෙහෝවාට ඉඩහරිමු.—කොලො. 4:2-4.