අස්වැන්න නෙළීමට ඔබේ උපරිම සහය දෙන්න
1 පුරාණ කාලයේ සිටි යෙහෝවාගේ අනාගතවක්තෘවරුන් මෙන්ම යේසුස් ක්‍රිස්තුස්ද එක්රැස් කිරීමේ වැඩක් ගැන කතා කළා. (යෙසා. 56:8; එසකි. 34:11; යොහ. 10:16) රාජ්‍යයේ ශුභාරංචිය ලොව පුරා දේශනා කිරීම මගින් එවන් එක්රැස් කිරීමේ වැඩක් අද අපේ කාලයේද සිදු වෙමින් පවතිනවා. (මතෙ. 24:14) එමගින් දෙවිට සේවය කරන අය සහ සේවය නොකරන අය අතර තිබෙන වෙනස අද පැහැදිලිව දැකගත හැකියි. (මලා. 3:18) මෙයින් අපට අදහස් කරන්නේ කුමක්ද?
2 එක් එක්කෙනාට පැවරී තිබෙන වගකීමක්: දේවසේවයෙහි පෙරමුණ ගනිමින්, හැකි උපරිමයෙන් එහි හවුල් වූ පාවුල්ගේ ආදර්ශයෙන් අපිට යමක් ඉගෙනගන්න පුළුවන්. ශුභාරංචියට සවන් දී ජීවිත ආරක්ෂා කරගැනීමට සියලු ජනයාට අවස්ථාව ලබා දීම සඳහා ඔවුන්ට දේශනා කරන්න තමන් වගකීමෙන් බැඳී සිටින බව ඔහුට හැඟුණා. මේ නිසා මිනිසුන්ගේ යහපත වෙනුවෙන් දේවසේවයෙහි තමාගේ හැකි උපරිමය කිරීමට ඔහු තුළ පෙලඹීමක් ඇති වුණා. (රෝම 1:14-17) අද මිනිසුන් ජීවත් වෙන දරුණු කාලය ගැන කල්පනා කර බලද්දී, අපේ ප්‍රදේශයේ සිටින මිනිසුන්ට දේශනා කිරීම සඳහා වගකීමෙන් බැඳී සිටින බවට හැඟීමක් අප තුළත් තිබිය යුතු නැද්ද?—1 කොරි. 9:16.
3 හදිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට කාලය ඇවිත්: දේශනා කිරීමේ වැඩය, විපතකට පත් මිනිසුන්ව සොයමින් ඔවුන්ව ගළවා ගැනීම සඳහා දියත් කර තිබෙන වැඩකට සමාන කරන්න පුළුවන්. ප්‍රමාද වෙන්න කලින් මිනිසුන්ව සොයාගෙන දිවි ගළවාගැනීම සඳහා ඔවුන්ට උපකාර කළ යුතුයි. කාලය සීමිතයි. ජීවිත අනතුරේ! මේ නිසා ‘තම ගොයම කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්න’ කියා යේසුස් ඔහුගේ ගෝලයන්ගෙන් මහත් ඕනෑකමින් ඉල්ලා සිටීම ගැන පුදුම විය යුතු නැත.—මතෙ. 9:38.
4 හදිසිතාවේ හැඟීමෙන් යුතුව මේ වැඩයේ හවුල් විය යුතු බව තේරුම්ගෙන සිටින රාජ්‍ය කටයුතුවල නියැලී සිටින සේවකයන් බොහෝදෙනෙක් ජීවිත ගළවාගැනීමේ කාර්යයෙහි වැඩියෙන් හවුල් වීමට තීරණය කර තිබෙනවා. නහඹර වියේ පසුවන හිරෝහිසා ජීවත් වුණේ තනි මාපියෙකු වන තමාගේ මව සහ තම බාල සහෝදර සහෝදරියන් සිව්දෙනා සමඟයි. තමාගේ පවුලේ අයට අවශ්‍ය ද්‍රව්‍යමය දේවල් සැපයීමට මුදල් උපයාගැනීම සඳහා ඔහු පාන්දර තුනට නැඟිට පත්තර විකුණන්න ගියා. මෙවන් තත්වයක සිටියත්, වැඩිපුර සේවයේ හවුල් වෙන්න හිරෝහිසා තීරණය කළා. එනිසා ඔහු ස්ථාවර පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. නැවත කවදාවත් කිරීමට සිදු නොවන මේ සේවයේ ඔබේ උපරිමය කළ හැකි මාර්ග තිබෙනවාද?
5 “කාලය ලුහුඬුකරනලද්දේය.” (1 කොරි. 7:29) එනිසා අදදින පොළොව මත කෙරෙන වැදගත්ම වැඩය වන රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමෙහි හා ගෝලයන් සෑදීමෙහි අපිට හැකි උපරිමය කරමු. යේසුස් මේ සේවය අස්වැන්න නෙළීමකට සමාන කළා. (මතෙ. 9:35-38) අස්වැන්න නෙළීමේ වැඩයෙහි අපේ උපරිමය කිරීම සඳහා දරන වෙහෙස තුළින් අපට යහපත් ප්‍රතිඵල අත් වෙයි. එළිදරව් 7:9,10හි සඳහන් දෙවිට නමස්කාර කරන මහත් සමූහයේ කොටසක් වීමට සමහර අයට උපකාර කිරීම එම යහපත් ප්‍රතිඵලවලට ඇතුළත් වෙයි.