දෙවිගේ පුදුම ක්‍රියා කල්පනාවට ගන්න
1 දවස් තුනක් පුරා පැවැත්වූ “දෙවිගේ වචනය පිළිපදින්නෝ” දිස්ත්‍රික් සමුළුවට අපි මහත් සතුටින් සහභාගි වුණා. අපි ඒ දවස් තුන තුළදී ජීවිතයේ එදිනෙදා කටයුතුවලින් මිදී යෙහෝවාගේ පුදුම ක්‍රියා කෙරෙහි අපේ සිත යොමු කළා. සමුළු වැඩසටහන පිළියෙළ කර තිබුණේ දෙවි සහ ඔහුගේ වචනය කෙරෙහි තිබෙන අපේ ඇදහිල්ල තව තවත් වර්ධනය කිරීමට හා දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමටයි. ඒ වගේම දේවසේවය සඳහා තිබෙන අපේ ජ්වලිතය වැඩි කිරීමත් සමුළුවේ තවත් එක් අරමුණක් වුණා. එහිදී ඉගෙනගත් දේවලින් අපිට ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද?—යොහන් 13:17.
2 දෙවිගේ වචනයට කීකරු වන පවුල්: “දෙවිගේ වචනයට කීකරු වන්න” නමැති මාතෘකාවෙන් යුත් කතාමාලාව අපේ පවුල්වල ආත්මික තත්වය පරීක්ෂා කර බලන්න අපිට උපකාරවත් වුණා. දරුවන් දේවල් ඉගෙනගන්න ආසයි. මේ නිසා ශක්තිමත් ආත්මික පවුලක් ගොඩනැඟීමේදී අත්තිවාරම ලෙස පවුලේ පාඩම යොදාගන්න කියා දෙමාපියන්ව එහිදී දිරිමත් කළා. දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්! කියන අලුත් විවරණිකාව පවුල් මූලිකයන් බොහෝදෙනෙක් දරුවන් සමඟ සාකච්ඡා කරන්න පටන්ගෙන තිබෙනවා. මේ විවරණිකාවේ සඳහන් තොරතුරු, යෙහෝවා සමඟ සුරක්ෂිත හා ප්‍රීතිමත් සබඳතාවක් ඇති කරගැනීමට දරුවන්ට උපකාර කරයි. දෙමාපියෙනි, දෙවිගේ හැඟීම් කල්පනාවේ තබාගෙන කටයුතු කළ යුතු ආකාරය ගැන දරුවන්ට උගන්වන්න. දෙවිට ඇති ඔබේ ප්‍රේමයත් ඔහු කර තිබෙන දේවල් සඳහා ඔබේ අගය කිරීමත් වචනවලින් ප්‍රකාශ කරන්න. (ගීතා. 103:2) යම් ආත්මික ඉලක්ක තබාගෙන ඒවා ඉටු කරගන්නත්, යෙහෝවාට උපරිම සේවයක් කරන්නත් පවුලක් හැටියට වෑයම් කරන්න.
3 දෙවිගේ වචනය අපේ ගමන් මඟ ආලෝකවත් කරයි: යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන නමැති අලුත් පොතේ පළමුවන වෙළුම මුදාහැරීම ගැන අපි හුඟාක් සතුටු වුණා. මේ වන විට ඔබ මේ අලුත් පොත කොතෙක් දුරට කියවා තිබෙනවාද? දෙවිව එපා කරන ජාතීන් මතට පැමිණෙන දරුණු විනාශය ගැන මෙන්ම රාජ්‍යය මගින් දෙවිගේ සෙනඟට ලබා දෙන ආශීර්වාද ගැන යෙසායා පොතේ පුරෝකථනය කර තිබෙනවා. (යෙසා. 34:2; 35:10) යෙසායාගේ පොත මගින් යෙහෝවා කෙරෙහි හා ඔහු දේවල් හසුරුවන ආකාරය කෙරෙහි ඇදහිල්ලක් මෙන්ම නිසැකකමක් ඇති කරවයි.—යෙසා. 12:2-5.
4 යෙසායාගේ අනාවැකිය I නමැති මේ අලුත් පොත කියවන විට දුෂ්ටකම්වලින් පිරුණු සමාජයක ජීවත් වුණත් යෙසායා යෙහෝවා කෙරෙහි තිබූ තම අඛණ්ඩතාව රැකගත් ආකාරය ඔබට වටහාගත හැක. දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කරන්නෙකු හැටියට සේවය කිරීමට ආරාධනාවක් ලැබුණු විට, ‘මම මෙහිය, මාව යවන්න’ කියමින් යෙසායා ප්‍රතිචාරය දැක්වුවා. (යෙසා. 6:8) “සියලු ජාතීන්ට සාක්ෂියක්” දැරීමෙහි පූර්ණ ලෙස හවුල් වෙමින් දිගටම ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔහු විදහාපෙන්වූ කැමැත්තෙන්ම ඉදිරිපත් වීමේ ස්වභාවය ඔබට මහත් දිරිගැන්වීමක් වේවි.—මතෙ. 24:14.
5 යෙහෝවාගේ පුදුම ක්‍රියා කල්පනාවට ගැනීමෙන් ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ගෞරවයට පත් කරන්න අපිට පුළුවන්. එනිසා දෙවිගේ වචනය පිළිපදින්නෙකු වීමේ වරප්‍රසාදය අගය කරන්න.