දිරිගන්වමින් එකිනෙකාගේ ඇදහිල්ල ශක්තිමත් කරන්න
1 ඔබේ ඇදහිල්ල කොතරම් ශක්තිමත්ද? එය වර්ධනය වෙමින් තිබෙන බව පේනවාද? (2 තෙස. 1:3) සභාවේ අනිත් අයගේ ඇදහිල්ලත් වර්ධනය වෙමින් තිබෙනවා දැක ඔබ සතුටු වෙන්නේ නැද්ද? සමහරක් අයගේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට උදව් කිරීමට ඔබට පුළුවන්ද? දෙවිව සතුටු කිරීමට ඇදහිල්ල අත්‍යවශ්‍යයි. අපට ශක්තිමත් ඇදහිල්ලක් නැත්නම් පීඩනවලට මුහුණ දී ජයගෙන සදාකාල ජීවනයට සුදුසුකම් ලැබීමට අපෙන් කිසිවෙකුට නොහැකියි.—හෙබ්‍රෙ. 10:38, 39.
2 ඇදහිල්ලේ ශක්තිමත්ව සිටීමට නිවැරදි දැනුම වැදගත්. (රෝම 10:17) එසේනම් අපි හැම කෙනෙක්ම දේවවචනය හොඳින් අධ්‍යයනය කළ යුතුයි. අප කියවන සහ අසන දේ ගැන මෙනෙහි කිරීමට කාලය ගත යුතුයි. (එෆී. 5:15, 16) අපේ ඇදහිල්ල ගොඩනැඟෙන්නේ සත්‍යයේ හරය අප වටහාගැනීමෙනුයි.—කොලො. 2:7.
3 අනුන්ව ශක්තිමත් කිරීම: අපට ශක්තිමත් ඇදහිල්ලක් තිබේ නම්, අනුන්වත් ශක්තිමත් කළ හැකියි. සභාවේ සිටින වැඩිදෙනෙක් කෙරෙහි පෞද්ගලිකවම අවධානය දෙන්න. (ෆිලි. 2:4) ඔවුන්ගේ නම් දැනගන්න. මේ සම්බන්ධයෙන් යේසුස්ව අනුකරණය කරන්න. (යොහ. 10:3, 4) ඔවුන්ව හැකි තරම් නිවෙස්වලට ගොස් බැහැදකිමු. නමුත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට එබිකම් නොකිරීමට වගබලා ගනිමු. ඔවුන්ව රාජ්‍ය ශාලාවේදී ඇසුරු කරමු. සේවයේ යන විට ඔවුන් සමඟ එකට වැඩ කරමු.—යොහ. 10:3, 14.
4 අපට වයසක, අසනීප වූ සහ තරුණ අයව ලෙහෙසියෙන්ම අමතක වී යන්න පුළුවන්. නමුත් එවැනි අයව අප කිසිසේත් නොසලකා නොහැරිය යුතුයි. මැසිවිලිනඟනසුලු, උදාසීන හෝ දුර්වල අය ගැන වුවත් අශුභවාදී හැඟීම් ඇති කරගන්න එපා. ඒ සියල්ලන්ම අපේ සහෝදරයන්. ඒ සියල්ලන්ටම අප උපකාර ලබා දිය යුතු නොවේද?—ගලා. 6:10.
5 එක් වැඩිමහල්ලෙක් තමන් කලින් සේවය කළ ප්‍රදේශයකට නැවත පදිංචියට ගියා. මීට වසර කිහිපයකට පෙර තමා සමඟ සභාවේ කඩිසරව වැඩ කළ වයසක සහෝදරයෙක් ගැන ඔහු එම සභාවේ සහෝදරයන්ගෙන් විමසුවා. ඒ සහෝදරයා අසනීප වූ පසු වැඩිදෙනෙකුට ඔහුව හමු වී තිබුණේ නැහැ. මේ වැඩිමහල්ලාට ඒ සහෝදරයා කළ සේවය හොඳට මතකයි. මෙම වැඩිමහල්ලා ඔහුව බලන්නට ගිය මොහොතේ ඔහුට මොන තරම් දිරිගැන්වීමක් ඇති වුණාද! ඒ වගේ, ඔබත් ඔබේ සභාවේ අසනීප වී සිටින වයසක අයව බලන්නට යනවාද? එය ඔවුන්ට මහත් දිරිගැන්වීමක් වේවි. ඒ සඳහා එතරම් කාලයක් ගත වෙන්නේ නැහැ. ඉඳ හිට දුරකථනයෙන් ඔවුන්ට කතා කරන්න. නිවසට ගොස් බැහැදැක මුරටැඹ සඟරාවේ යම් බයිබල් පදයක් පැහැදිලි කර ඇති ආකාරය ගැන කතා කිරීම හෝ යම් අද්දැකීම් ගැන කීම එවැනි අයට මහත් දිරිගැන්වීමක් විය හැකියි.
6 හැමෝටම හවුල් වෙන්න පුළුවන්: යම් අය අධෛර්යයට පත් වී තිබෙනවා ඔබ දකිනවා නම් අනුකම්පාවෙන් පෙලඹී ඔවුන්ව දිරිගන්වන්න. මූලික වගකීම වැඩිමහල්ලන්ට තිබුණත්, එකිනෙකාව ගොඩනැංවීමට උපදෙස් දී තිබෙන්නේ සියලු ක්‍රිස්තියානීන්ටයි.—1 තෙස. 5:11.
7 ඔබට උපකාර කළ හැකි ඇතැම් ක්‍රම මොනවාද? ඔබගේ පවුලේ පාඩමට සභාවේ වෙනත් අයවත් හවුල් කරගන්න පුළුවන්ද? එක් වැඩිහිටි යුවළක් මුරටැඹ පාඩමට හෝ දිව්‍යාණ්ඩු සේවා පාසැලට සූදානම් වෙද්දී හෝ එකට යමක් කියවද්දී යෞවනයන්වත් හවුල් කරගන්නවා. මේ වගේ සුහද සාකච්ඡාවලින් බොහෝදෙනෙකුට ලැබෙන්නේ මහත් දිරිගැන්වීමක්. ඒ වගේම විවේකයට, විනෝදයට යම් දෙයක් සුදුසු අන්දමට කරනවා නම් එකිනෙකාගේ ඇදහිල්ල වර්ධනය වීමට එයත් හේතු වෙනවා.
8 ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරගැනීමට වෑයම් කරන්න. මේ මගින් ඔබගේ පවුලෙත් වෙනත් අයගෙත් ඇදහිල්ල ශක්තිමත් කිරීමට ඔබට හැකි වේවි. ඔබේ ඇදහිල්ල පොදුවේ බෙදාගන්න. (ෆිලෙ. 5, 6) අනුන්ටත් එසේම කිරීමට දිරිගන්වන්න. අපේ ජීවිත රැඳී පවතින්නේ ඒ මතයි.