අතීතයෙන් බිඳක්
රෝද හතරේ පුංචි ගෙදර
1929දී දින නවයකින් ඇමරිකාව පුරා ශුභාරංචිය දේශනා කරන්න සාක්ෂිකරුවන් විශේෂ සැලැස්මක් දියත් කළා. ඒ කාලය පුරා 10,000කට වඩා සාක්ෂිකරුවන් පිරිසක් කඩි රැළක් වගේ උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙලා පොත් පත් ලක්ෂ දෙකහමාරක් පමණ බෙදාහැරියා. ඔවුන් අතර කෝල්පෝටර්වරු 1,000ක් පමණ හිටියා. 1927දී හිටපු ඔවුන්ගේ ගණන එක්ක බලද්දී ඒක තුන් ගුණයක වැඩි වීමක්. ඒ තරම් කෙටි කාලයක් ඇතුළත සිදු වුණ ඒ වර්ධනය “හරිම පුදුමසහගතයි” කියලා ‘බුලටින්’a පත්‍රිකාවේ සඳහන් වුණා.
1929 අවසන් භාගය වෙද්දී ලොව පුරාම වගේ ආර්ථිකය බිඳ වැටිලා තිබුණා. ඒකට ප්‍රධාන හේතුව වුණේ නිව් යෝර්ක්වල කොටස් වෙළඳපොළ කඩා වැටීමයි. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට බැංකු දහස් ගාණක් බංකොලොත් වුණා. ගොවිපොළවල වැඩකටයුතු නතර වුණා. විශාල කර්මාන්ත ශාලා වහලා දැම්මා. මිලියන ගාණකට රැකියා අහිමි වුණා. බැංකු ණය ගෙවාගන්න බැරුව 1933 වෙද්දී දිනපතාම සිය ගාණකට නිවාස අහිමි වුණා.
පූර්ණකාලීන සේවකයන් ඒ තත්වයට මුහුණ දෙන්න කදිම විසඳුමක් හොයාගත්තා. ඒ තමයි ඔවුන්ට තිබුණ වාහන ගෙයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදාගන්න එක. ඒ නිසා ගෙවල් කුලි, බඳු වගේ වියදම්වලින් නිදහස් වෙන්නත් අඩු වියදමකින් ජීවත් වෙන්නත් ඔවුන්ට පුළුවන් වුණා.b සමුළු පවත්වපු කාලවලදී නවාතැන් පහසුකම් ගැන කරදර වෙන්න වුණෙත් නැහැ.
ලොව පුරාම හිටපු පූර්ණකාලීන සේවකයන් හුඟදෙනෙක් ඒ විදිහට තමන්ගේ වාහන සකස් කරගත්තා. වික්ටර් බ්ලැක්වෙල් කියන්නේ ඒ වගේ කෙනෙක්. ඔහු මෙහෙම කිව්වා. “නැව් හදලා පළපුරුද්දක් නැති නෝවා නැවක් හැදුවා නම් මටත් බැරිද මගේ වාහනේ ගෙයක් විදිහට හදාගන්න කියලා මම හිතුවා.”
ඉන්දියාවේ ගඟකින් එගොඩට ගෙනි යන නිවසක් විදිහට පාවිච්චි කළ වාහනයක්
ඒවරි හා ලෝවින්යා බ්‍රිස්ටෝ කියන යුවළ ජීවත් වුණෙත් ඒ වගේ වාහනයක. “කැස්බෑවෙක් ගිය ගිය තැනට උගේ කටුව ගියා වගේ අපි ගිය හැම තැනටම අපේ ගේත් අපිත් එක්ක ගියා” කියලා ඒවරි කියනවා. බ්‍රිස්ටෝ යුවළත් එක්ක පුරෝගාමි සේවය කළ හාවි හා ඈන් කෝන්රෝ යුවළටත් ඒ වගේ වාහනයක් තිබුණා. ඒක ඇතුළේ කොටස් වෙන් කරලා තිබුණේ තාර ෂීට්වලින්. “ඒ වගේ වාහනයක් කවුරුත් ඊට කලින් දැකලා තිබුණෙත් නැහැ. ආයේ කවදාවත් දැක්කෙත් නැහැ. ඒත් ඒ මොන අමාරුකම් තිබුණත් ඒ දෙන්නත් ඒගොල්ලන්ගේ පුතාලා දෙන්නත් තරම් සතුටින් හිටපු පවුලක් නම් මම දැකලා නැහැ” කියලා ඒවරි කිව්වා. ඒ ගැන හාවි කෝන්රෝ කියන්නේ මෙහෙමයි. “දෙවිට සේවය කරපු ඒ කාලය පුරාම දෙවි අපිව ආදරයෙන් රැකබලා ගත්තා.” පසු කාලයේදී කෝන්රෝ පවුලටම ගිලියද් පාසැලට සහභාගි වෙන්නත් පේරූ රටේ මිෂනාරීන් හැටියට සේවය කරන්නත් අවස්ථාව ලැබුණා.
පුරෝගාමි සේවය කරපු ජූස්ටෝ හා වින්සෙන්සා ගොඩක් වෙලාවට නවාතැන් ගත්තේ කූඩාරම්වල. වින්සෙන්සාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම ඔවුන්ට තිබුණ ට්‍රක් එක නිවසක් විදිහට හදාගත්තා. කලින් නවාතැන් එක්ක බලද්දී ඔවුන්ට දැනුණේ ඒක හරියට හෝටලයක් වගෙයි. ඒ වාහනේ ජීවත් වෙමින් ඔවුන්ගේ පුංචි දුවත් එක්ක දිගටම ඇමරිකාවේ හිටපු ඉතාලි ජාතිකයන්ට ඔවුන් දේශනා කළා.
බොහෝදෙනෙක් ශුභාරංචියට උනන්දුවක් දැක්වුවත් පොත් පත් මිල දී ගන්න තරම් ඔවුන්ට වත්කමක් තිබුණේ නැහැ. මොකද ඒ වෙනකොට ගොඩක් අය හිටියේ රැකියා අහිමි වෙලයි. ඒ නිසා ඔවුන් පොත් පත් ලබාගත්තේ මුදල් වෙනුවට ඔවුන්ට තිබුණ යම් යම් දේවල් දීලයි. පුරෝගාමි සහෝදරියන් දෙන්නෙකුට ඒ වගේ එක එක ජාතියේ දේවල් 64ක් ලැබිලා තිබුණා.
දවසක් ෆ්‍රෙඩ් ඇන්ඩර්සන් කියන සහෝදරයට ගොවිපොළක හිටිය කෙනෙක්ව හමු වුණා. ඔහු පොත් පත් ලබාගත්තේ ඔහු ළඟ තිබුණ කණ්ණාඩි කුට්ටමක් දීලයි. ඊළඟ ගොවිපොළේ හිටපු කෙනා පොත් පත් කියවන්න ආස වුණත් “මේවා කියවන්න මට පේනවා මදි” කියලා කිව්වම සහෝදර ෆ්‍රෙඩ්ට ලැබුණ කණ්ණාඩි කුට්ටම ඔහුට දුන්නා. ඒක ඔහුට හරියටම හරි ගිය නිසා ඔහු පොත් ටිකයි කණ්ණාඩි කුට්ටමයි අරගෙන ඒ වෙනුවෙන් සල්ලි දුන්නා.
සමහර අය කුකුල්ලුන්වත් දුන්නා. සහෝදර ඇබෝට්ට ඒ විදිහට කුකුල්ලු කිහිපදෙනෙක් එකතු වුණාම උන්ව විකුණලා ඒ සල්ලිවලින් කාර් එකට පෙට්ට්‍රල් ගහනවා. “සතේටම හිඳුණ අවස්ථා ඕනෙ තරම් තිබුණා. ඒත් යෙහෝවා දෙවි අපිව බලාගනියි කියන විශ්වාසය තිබුණ නිසා අපි සේවය නතර කළේ නැහැ.”
වැස්සත් එක්ක තද සුළං තිබුණ දවසක ගහක් කඩන් වැටිලා මැක්ස්වෙල් හා ඒමි ලුවිස්ගේ වාහනේ දෙකට කැඩුණා. ඒ වෙනකොට ඒ දෙන්නා වාහනෙන් පිට වෙලා ගත වෙලා තිබුණේ විනාඩි කිහිපයක් විතරයි. “ඒ වගේ දේවල් නිසා අපි සැලුණේ නැහැ.” සහෝදර සහෝදරියන්ගේ උදව්වෙන් රෝද හතරේ නිවස ආයෙත් හදාගෙන ඔවුන් දිගටම සේවය කළා. යෙහෝවා දෙවිව විශ්වාස කරපු නිසත් අත් නෑර සේවයේ හවුල් වෙන්න තිබුණ අධිෂ්ඨානය නිසත් ඒ දුෂ්කර කාලයට මුහුණ දෙන්න පුරෝගාමීන්ට පුළුවන් වුණා.
අපේ කාලයෙත් ඒ වගේ තමන්ගේ සැප පහසුව ගැන හිතන්නේ නැතුව යෙහෝවා දෙවිට සේවය කරන මිලියන ගාණක් ඉන්නවා. යෙහෝවා දෙවි සේවය නතර කරන්න කියලා කියන තාක්කල් අපිත් අතීතයේ හිටපු ඒ පුරෝගාමීන් වගේ උද්‍යෝගයෙන් දෙවිට සේවය කරමු.
a දැන් හඳුන්වන්නේ ‘අපගේ රාජ්‍ය සේවාව’ ලෙසයි.
b ඒ කාලයේදී පුරෝගාමීන්ට සඟරා, පොත් පත් ලැබුණේ ගෙහිමියන්ට ලබා දෙන මුදලට වඩා ටිකක් අඩු මුදලටයි. ඒ අමතර මුදල ඔවුන්ගේ වියහියදම් පිරිමහගන්න ප්‍රමාණවත් වුණා.