“ඔහුගේ දැඩි අධිෂ්ඨානය මම අගය කරනවා”
ජර්මානු ජාතික ගුන්ටා ග්‍රාස් නමැති කතුවරයාට 1999දී සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය හිමි වුණා. වර්ෂ 2006දී ඔහු විසින් රචිත ඔහුගේම ජීවිත කතාව ප්‍රකාශයට පත් කළා. ඔහුව ජර්මනියේ හමුදාවට බඳවාගත් කාලයේ සිදු වූ දෙයක් ගැන එම පොතේ ඔහු විස්තර කරනවා. අවුරුදු 60ක් පුරා අමතක නොවුණු එක් විශේෂ සිරකරුවෙකු ගැන ඔහු එහි සඳහන් කළා. මේ සිරකරුවා බොහෝ හිරිහැර මධ්‍යයේ පවා තම ආගමික විශ්වාසයන් පාවා නොදී කටයුතු කළ බව තවදුරටත් ඔහු සඳහන් කරනවා.
ග්‍රාස් සමඟ කළ සාකච්ඡාවක් එක් පුවත් පතක පළ වුණා. එහිදී ඔහු පෙර සඳහන් කළ සිරකරුවාව මතක් කරමින් පැවසුවේ මෙසේයි. “ඔහු හරිම පුදුම කෙනෙක්. යුද්ධයට කොයිම ආකාරයකින්වත් සම්බන්ධ වීම ඔහු ප්‍රතික්ෂේප කළා. ඔහු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වූ නිසා ඒ කාලයේ තිබූ නාට්සි හමුදාවට, කොමියුනිට්වාදයට හෝ සමාජවාදයට කොහෙත්ම සම්බන්ධ වුණේ නැහැ.” මේ සිරකරුවාගේ නම ග්රාස්ට හරියටම මතක නැති වුණත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන අධ්‍යයනය කරන අය ඔහුව හඳුනාගත්තා. ඔහුගේ නම ජෝකීම් ඇල්ෆ්මෑන්. ඔහුගේ ආගමික ස්ථාවරය නිසා ඔහු හමුදා සේවය ප්‍රතික්ෂේප කළා. ඒ හේතුවෙන් ඔහුට හොඳටම පහර දී නින්දා කර අවසානයේදී තනි හිර කුටියකට දැම්මා. නමුත් ඔහුගේ ප්‍රතිපත්ති ඔහු කිසිවිටෙක පාවා දුන්නේ නැහැ.
ග්‍රාස් තවදුරටත් ඔහු ගැන මෙසේද පැවසුවා. “ඔහුගේ දැඩි අධිෂ්ඨානය මම ගොඩාක් අගය කරනවා. මොහු මෙච්චර දේවල් ඉවසාගෙන හිටියේ කොහොමද කියලා මම හැමතිස්සෙම කල්පනා කළා.” ඔහු දෙවි කෙරෙහි දැක්වූ පක්ෂපාතකම බිඳ හෙළන්න ගොඩාක් අය උත්සාහ කළත් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් සාර්ථක වුණේ නැහැ. ඇල්ෆ්මෑන්ව 1944 පෙබරවාරි මාසයේදී ගාල් කඳවුරක් වෙත යැව්වත් ඊළඟ වසරේ අප්‍රියෙල් මාසයේදී ඔහුට නිදහස ලැබුණා. වර්ෂ 1998දී ඔහු මරණයට පත් වන තුරුම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් හැටියට විශ්වාසවන්තව දෙවිට සේවය කළා.
ඇල්ෆ්මෑන් කියන්නේ ජර්මනියේ නාට්සි කඳවුරුවල වධ හිංසාවට ලක් වූ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 13,400න් එක්කෙනෙක් විතරයි. බයිබලයේ ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වූ ඔවුන් දේශපාලනික වශයෙන් පැති නොගත් අතර යුද්ධවලට සහභාගි වීමත් තරයේ ප්‍රතික්ෂේප කළා. (මතෙව් 26:52; යොහන් 18:36) ඒ කාලයේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 4,200දෙනෙකුවම සිරගත කළ අතර ඒ අයගෙන් 1,490කගේ ජීවිත අහිමි වුණා. නමුත් ඔවුන් දැරූ ඒ ස්ථාවරය බොහෝදෙනාගේ මවිතයට හේතු වී තිබෙනවා. ඒ අය යෙහෝවාගේ සාක්ෂිකරුවන් නොවුණත් සිරගත වී සිටි සාක්ෂිකරුවන්ගේ ඇදහිල්ල අදත් ඔවුන් මහත් සේ අගය කරනවා.
[32වන පිටුවේ පින්තූරය]
ජෝකීම් ඇල්ෆ්මෑන්