ඔබ ඇති කරගනිමින් සිටින්නේ කෙබඳු නමක්ද?
පුවත්පත්වල පළ වන මරණ දැන්වීම් තීරුව ඔබ කියවා තිබෙනවාද? එහෙමත් නැත්නම් මිය ගිය පුද්ගලයෙකුගේ ජීවිතය ගැනත් ඔහුගේ සමර්ථකම් ගැනත් පළ වන දිගු වාර්තා ඔබ දැක තිබෙනවාද? ‘මිනිසුන් මං ගැන කියනවා ඇත්තේ මොනවාද’ කියා ඔබ කවදා හෝ දවසක ඔබෙන්ම අසා තිබෙනවාද? තමන් මිය ගිය පසු අන් අය තමන්ව කෙසේ සිහිපත් කරනු ලබයිද කියා සිතන්නේ කීයෙන් කී දෙනාද? මේ සම්බන්ධයෙන් පහත සඳහන් ඍජු මෙන්ම අවංක ප්‍රශ්න සලකා බලන්න. ඔබ ඊයේ මිය ගියා නම් මිනිසුන් අද ඔබ ගැන කුමක් කියාවිද? ඔබ ඇති කරගනිමින් සිටින්නේ කෙබඳු නමක්ද? ඔබව දන්නා හඳුනන අය මෙන්ම දෙවි විසින් ඔබව කෙලෙස සිහිපත් කරනවාටද ඔබ කැමති වන්නේ?
ඥානවන්ත පුද්ගලයෙකු වූ බයිබලයේ දේශනාකාරයා නමැති පොතේ ලේඛකයා මෙසේ පැවසුවේය. “හොඳ නාමයක් අනර්ඝ තෛලයට වඩා උතුම්ය. උපන් දවසට වඩා මැරෙන දවස හොඳය.” (දේශනාකාරයා 7:1) කෙනෙකු මැරෙන දවස ඔහුගේ හෝ ඇයගේ උපන් දවසට වඩා හොඳයි කියා පවසන්නේ මන්ද? යමෙකු උපතේදී හොඳ නමක් ඇති කරගෙන නොතිබීම ඊට හේතුවයි. ඔහුගේ ජීවිත කතාව හිස් පිටුවක් මෙන්ය. මෙම තැනැත්තා හොඳ හෝ නරක නාමයක් ඇති කරගැනීම තීරණය වන්නේ ඔහු හෝ ඇය පසු කාලයේදී ජීවිතය ගත කරන ආකාරයෙනි. මේ අර්ථයෙන් බලන කල අතීතයේදී හොඳ නමක් ඇති කරගත් අය මිය ගිය දවස ඔවුන් උපන් දවසට වඩා ඇත්තෙන්ම හොඳය.
මෙහිදී අපට තේරීමක් කිරීමට තිබේ. අප ජීවත්ව සිටියදී ඇති කරගෙන තිබූ නාමය කෙබඳු එකක්ද යන්න ගැන තීරණය වීමට බලපාන තේරීම් ගණනාවක් දෛනිකව අප හමුවෙහි ඇත. විශේෂයෙන්ම දෙවි අපව ඔහුගේ මතකයේ රඳවා තබාගන්න ආකාරයට බලපාන තේරීම්ද ඒවාට ඇතුළත් වේ. මේ ගැන එම ඥානවන්ත හෙබ්‍රෙව් ජාතික ලේඛකයාම මෙසේ ලීවේය. “ධර්මිෂ්ඨයා සිහි කිරීම වාසනාවන්තය [ආශීර්වාදයකට හේතු වේ, NW]. එහෙත් දුෂ්ටයන්ගේ නම දිරා යන්නේය.” (හිතෝපදේශ 10:7) ආශීර්වාදයකට මඟ පෑදෙන අයුරින් දෙවිගේ මතකයේ රැඳී සිටීම මොනතරම් ගෞරවනීය දෙයක්ද!
අප නැණවත් අය නම් අපේ ඉලක්කය වන්නේ දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙමින් ඔහුව සතුටට පත් කිරීමයි. මින් අදහස් කරන්නේ ක්‍රිස්තුස් පැවසූ මෙම මූලික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමයි. “‘ඔබ ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු සිතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ප්‍රේම කළ යුතුය.’ මෙය උතුම්ම සහ පළමුවන ආඥාවය. දෙවැන්නද ඒ හා සමානය. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ඔබ ප්‍රේම කළ යුතුය.’ මේ ආඥා දෙක මත මුළු නීතියද අනාගතවාක්‍යයද රඳා පවතී.”—මතෙව් 22:37-40, NW.
සමහරුන්ව සිහිපත් කරනු ලබන්නේ ධානපතීන්, මානව හිතවාදීන්, සිවිල් අයිතිවාසිකම් සුරැකීම සඳහා ක්‍රියා කළ අය ලෙසයි. එසේත් නැත්නම් ව්‍යාපාරික, විද්‍යාත්මක, වෛද්‍ය හා වෙනත් ක්ෂේත්රවල ඔවුන් ලබා තිබෙන සමර්ථකම් නිසාය. කෙසේවෙතත් ඔබ කැමති වන්නේ අන් අය ඔබව කෙලෙස සිහිපත් කරනවා දකින්නද?
ස්කොට්ලන්ත ජාතික කවියෙකු වූ රොබට් බර්න්ස් (1759-96) ඔහුගේ පැතුම ගැන සඳහන් කරමින් පැවසුවේ, අන් අය අපව දකින ආකාරයට අපට අපව දැකීමේ හැකියාව නමැති ත්‍යාගය යම් දෙවි කෙනෙකුගෙන් ලැබුණා නම් කොතරම් හොඳද කියාය. ඔබවම අපක්ෂපාතීව ඇගයීමකට ලක් කර, ඔබ අන් අය සහ දෙවි සමඟ හොඳ නමක් ගොඩනඟා ගෙන තිබෙන කෙනෙකු බව ඔබට පැවසිය හැකිද? අප ව්‍යාපාරික හෝ ක්‍රීඩා ක්ෂේත්රයේ ලැබිය හැකි කෙටි කාලීන සමර්ථකම්වලට වඩා අන් අය සමඟ පවත්වනු ලබන සබඳතා දිගු කාලීන වශයෙන් වඩා වැදගත් වේ. එමනිසා මෙහිදී පැනනඟින ප්රශ්නය වන්නේ, අපේ කතා බහේදී, හැසිරීමේදී හා ශාරීරික ඉරියව් මගින් කරන භාෂණයේදී අන් අය සමඟ අප කටයුතු කරන ආකාරය ඔවුන්ට බලපාන්නේ කෙසේද යන්නයි. අන් අය අපව සලකන්නේ ළං විය හැකි අය ලෙසද, නැත්නම් මිත්‍රත්වයක් ඇති කරගත නොහැකි අය ලෙසද? කාරුණික අය ලෙසද, නැත්නම් සැර පරුෂ අය ලෙසද? නැමෙනසුලු අය ලෙසද, නැත්නම් තම මතයේම එල්බගෙන සිටින අය ලෙසද? මිත්‍රශීලී හා සංවේදී අය ලෙසද, නැත්නම් අන් අය ගැන සැලකිල්ලක් නොදක්වන අසංවේදී අය ලෙසද? බිඳ හෙළන විවේචකයෙකු ලෙසද, නැත්නම් ගොඩනංවනසුලු උපදෙස් සපයන්නෙකු ලෙසද? මේ සම්බන්ධයෙන් අපට ඉගෙනගත හැකි දේවල් මොනවාද කියා සොයා බැලීම සඳහා පුරාණයේ මෙන්ම නවීන කාලයේ ආදර්ශ කිහිපයක් සලකා බලමු.
[3වන පිටුවේ පින්තූරය]
රොබට් බර්න්ස් ප්‍රාර්ථනා කළේ අන් අය අපව දකින ආකාරයට අපට අපව දැකීමේ හැකියාව නමැති ත්‍යාගය යම් දෙවි කෙනෙකුගෙන් ලැබුණා නම් කොතරම් හොඳද කියාය
[හිමිකම් විස්තර]
A History of England නමැති පොත ඇසුරෙනි