සදාචාරාත්මක මට්ටම ඉහළ දැමීමට වෙර දැරීමක්
වර්ෂ 2001 අවසානයේදී මොසැම්බික් ජාතික ගුවන් විදුලි සේවයට සවන් දී සිටි අයට අසන්න ලැබුණ පුවතකි පහත දැක්වෙන්නේ:
“ජනාධිපති තුමා මාපුටෝහි තිබෙන යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය දැකබලා ගැනීමට ගොස් ඇත. මෙහිදී, පවුල් තුළ සදාචාරාත්මක මට්ටම ඉහළ දැමීමට එම ආගමික සංවිධානය ගන්නා වෙර දැරීම මෙන්ම සාක්ෂරතා පංති පවත්වමින් වැඩිහිටියන්ට ඉගැන්වීමේ වැඩසටහන්, තව තවත් ප්‍රගුණ කරගන්නා මෙන් ජනාධිපති ඔවුන්ට දිරිගැන්වීය. පුද්ගලයන් 10,000ක් පමණ දැනටමත් මෙම වැඩසටහන්වලින් ප්‍රයෝජන ලබා තිබේ. ජනාධිපති ශිසානූ පැවසූවේ, මෙවැනි වැඩසටහන් ප්‍රශංසාවට ලක් කළ යුතු බවයි. මන්දයත් අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු විසඳාගැනීමට මෙම සේවය අගනා අත්වැලක් වන බැවිනි.”
ජනාධිපතිගේ කතාවේ කොටසක් එම ගුවන් විදුලි නිවේදනයේ විකාශ වූයේ මෙලෙසයි. “තම සාක්ෂරතා හැකියාව දියුණු කරගැනීමට මිනිසුන් බොහෝදෙනෙක් දක්වන උනන්දුව දිරිගන්වනසුලුයි. අප රටෙහි පහත් අඩියක තිබෙන සාක්ෂරතා හැකියාව දියුණු කරගැනීමට සාමාන්‍ය ජනතාව අතහිත දෙන බව පැහැදිලියි. ඒ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් කුමන භාෂාවකින් හෝ පවත්වන සාක්ෂරතා දියුණු කිරීමේ වැඩසටහන් තව තවත් ප්‍රගුණ කරන මෙන් මම ඔවුන්ව දිරිගන්වන්න කැමතියි. මෙහිදී වැදගත්ම දේ වන්නේ පුද්ගලයන්ගේ සාක්ෂරතා හැකියාව දියුණු වීම සහ පුද්ගලයන්ට පහසුවෙන් අදහස් හුවමාරු කිරීමට හැකිවීමයි. එමනිසා අනාගතයේදී සිප් සතර හැදෑරීමට හුඟදෙනෙක් ඉදිරිපත් වේවි කියා බලාපොරොත්තු විය හැකියි.”
මොසැම්බික්හි සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මනුෂ්‍යයන්ට දේවවචනය කියවීමට හැකි කරවීම සඳහා මුළු රට පුරා ස්ථාන 850ක සාක්ෂරතා පංති පවත්වනු ලබයි. ඊට අමතරව සතියකට නිවාස බයිබල් පාඩම් 50,000ක් පමණ පවත්වයි. මේ සෑම දෙයක්ම රටවල් 235ක සිදු කෙරෙන බයිබල් අධ්‍යාපන සේවයේ අංගයන්. (මතෙව් 24:14) ඔබටත් මෙම වැඩසටහනෙන් ප්‍රයෝජන නෙළාගත හැකියි. ඒ සඳහා ඔබේ ප්‍රදේශයේ සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇමතීමට පසුබට නොවන්න.