ඔබ සෑම කාරණයක්ම සැහැල්ලුවට ගත යුතුද?
සන්සුන්, තැන්පත්, සෑම කාරණයක්ම සැහැල්ලුවට ගන්නා, ඉවසිලිවන්ත ස්වභාවයක් තිබෙන පුද්ගලයෙකු ලෙස තමන් අන් අය අතර ප්‍රසිද්ධ නම් එය මහත් ප්රශංසාවක්යැයි බොහෝදෙනා කල්පනා කළ හැකියි. කෙසේ නමුත් සැහැල්ලුවට ගැනීම සම්බන්ධයෙන් නිෂේධාත්මක පැත්තක්ද තිබෙනවා. බයිබලයේ හිතෝපදේශ පොතේ මෙසේ කියැවෙනවා. “අඥානයෝ [කාරණා] සැහැල්ලුවට ගැනීම නිසා විනාශ වන්නෝය.” (හිතෝපදේශ 1:32, NW) මෙයින් අදහස් කරන්නේ කුමක්ද?
අනෙකුත් බයිබල් පරිවර්තනවල මුල් හෙබ්‍රෙව් වචනය පරිවර්තනය කරන්නේ ‘නොසැලිකිලිමත්කම’ (පැරණි අනුවාදය), “නුසුදුසු ආත්ම තෘප්තිය” (ද නිව් අමෙරිකන් බයිබල්) සහ “නුසුදුසු ආත්ම විශ්වාසය” (ද නිව් ඉංග්ලිෂ් බයිබල්) යනුවෙන්. මෙම අර්ථයන්ට අනුව කාරණයක් ගැන සැහැල්ලුවෙන් සිතීම අලසකමට හා නොසැලකිලිමත්කමට නෑකම් කියන අතර එමගින් මෝඩකම හෝ අඥානකමද පිළිබිඹු වෙනවා.
පළමුවෙනි ශතවර්ෂයේ ලවොදික සභාවේ ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ආත්මික ඌනතා ගැන නොසැලකිල්ලෙන් සිටි නිසා තමන් එවැනි තත්වයක සිටි බව ඔවුන් දැනගෙන සිටියේ නැහැ. එසේත් නැත්නම්, ඔවුන් තමන් ගැන නුසුදුසු ආත්ම විශ්වාසයක් තබාගෙන සිටියා. ඔවුන් ආත්ම තෘප්තියෙන් යුතුව පුරසාරම් දෙඩුවේ තමන්ට “කිසි දෙයකින් හිඟයක් නැත” කියායි. යේසුස් ඔවුන්ව නිවැරදි කරමින් ක්‍රිස්තියානි ජ්වලිතය පවත්වාගැනීම ගැන නැවත සිහිගැන්වූවා.—එළිදරව් 3:14-19.
නෝවාගේ කාලයේදීත් මිනිස්සු නුසුදුසු ආත්ම විශ්වාසයක් තබාගනිමින් කාරණා සැහැල්ලුවට ගත් බවක් දකින්නට තිබුණා. ඔවුන් තමන්ගේ දෛනික ජීවිතයේ කටයුතුවල ඇලී ගැලී සිටියා. එනම් “කමින් බොමින් විවාහ වෙමින් සහ විවාහ කර දෙමින් සිටියහ. ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන යන තුරු ඔවුහු ඒ ගැන කිසි තැකීමක් නැතිව සිටියහ.” යේසුස් තවදුරටත් මෙසේ පැවසුවා. “එලෙසම මනුෂ්‍ය පුත්‍රයා පැමිණ සිටින කාලයේදීත් වන්නේය.”—මතෙව් 24:37-39, NW.
ඉෂ්ට වී ඇති බයිබල් අනාවැකිවලින් පෙන්නුම් කරන්නේ අපි ජීවත් වන්නේ “මනුෂ්‍ය පුත්‍රයා [යේසුස් ක්‍රිස්තුස්] පැමිණ සිටින කාලයේ” බවයි. එමනිසා අප කිසි දිනකවත් වැරදි ආකාරයට කාරණා සැහැල්ලුවට නොගනිමු. එනම් නුසුදුසු ආත්ම තෘප්තියකින්, ආත්ම විශ්වාසයකින් හා නොසැලකිලිමත්කමින් කටයුතු නොකරමු.—ලූක් 21:29-36.