ඔබ දෙවිගේ ප්‍රේමය අගය කරනවාද?
යෝබ් එක් අවස්ථාවකදී අසම්පූර්ණ මිනිස් ජීවිතය ගැන අදහස් දැක්වූයේ මේ ආකාරයෙනි. “ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණ වූ කෙනෙක්ය. ඔහු මලක් මෙන් හටගෙන පහ වී යන්නේය. ඔහු නොපැවතී සෙවණැල්ල මෙන් පලායන්නේය.” (යෝබ් 14:1, 2) යෝබ් එවකට සිටියේ ඉතා වේදනාකාරි හා දුක්මුසු තත්වයකයි. ඔබටත් එවැනි හැඟීමක් කෙදිනක හෝ ඇති වී තිබෙනවාද?
කොපමණ පීඩා හා කරදරවලට මුහුණ දෙන්න සිදු වූවත් දෙවිගේ දයානුකම්පාව හා ප්‍රේමය අපට ස්ථීර මෙන්ම නොසැලෙන බලාපොරොත්තුවක් සපයයි. අපේ ප්‍රේමනීය ස්වර්ගික පියාණන් අප වෙනුවෙන් මිදීමේ යාගයක් සපයා දී තිබෙන්නේ එමගින් මනුෂ්‍යයාව පාපයෙන් මුදවාගැනීමටය. යොහන් 3:16, 17ට [NW] අනුව යේසුස් ක්‍රිස්තුස් පැවසුවේ, “දෙවි ලෝකයට [මනුෂ්‍යවර්ගයාට] මොනතරම් ප්‍රේම කළාදයත්, ඔහු තමාගේම ඒක ජාතක පුත්‍රයාව ලෝකයට දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. දෙවි තම පුත්‍රයාව [යේසුස්ව] ලෝකයට එව්වේ ඔහු විසින් ලෝකය විනිශ්චය කරනු ලබන පිණිස නොව ඔහු මාර්ගයෙන් ලෝකය ගළවන පිණිසය.”
දෙවි අසම්පූර්ණ මනුෂ්‍යයන් වන අප කෙරෙහි දක්වන අපරිමිත කරුණාවද සැලකිල්ලට ගන්න. මේ සම්බන්ධව ප්‍රේරිත පාවුල් පැවසුවේ මෙසේය. “මුළු පොළෝතලය (පුරාම) වාසය කරන පිණිස ඔහු එක මිනිසෙකුගෙන් සෑම මිනිස් ජාතියක්ම සෑදුවේය. නියම කරන ලද කාලවල් සහ මිනිසාගේ වාසය සඳහා ඔහු සීමා නියම කළේය. ඔහු එසේ කළේ ඔවුන් දෙවිව සොයන පිණිස අතගා යමින්, ඇත්තෙන්ම ඔහුව සම්බ වන පිණිසය. එනමුත් ඇත්තටම ඔහු අප එකිනෙකාට නුදුරුව සිටින්නේය.” (ක්‍රියා 17:26, 27, NW) මෙය ගැන සිතා බලන්න. අප අසම්පූර්ණ වූවත් අපේ ප්‍රේමනීය මැවුම්කාර දෙවි යෙහෝවා සමඟ පුද්ගලික සම්බන්ධතාවක් පවත්වාගැනීමට අපට හැක!
අපේ දෙවි අප ගැන සලකන බවත් අපේ සදාකාල ශුභ සිද්ධිය වෙනුවෙන් ප්‍රේමනීය ලෙස සැලසුම් යොදා ඇති බවත් දැනගැනීමෙන් අපට විශ්වාසයෙන් යුතුව ඉදිරිය දෙස බලන්න හැකි වී තිබේ. (1 පේතෘස් 5:7; 2 පේතෘස් 3:13) ඇත්ත වශයෙන්ම අප සැමෝටම බයිබලය තුළින් ප්‍රේමනීය දෙවි ගැන තවදුරටත් හැදෑරීමට හොඳ හේතු තිබේ.