මහලු විය ඉගෙනීමට බාධාවක් නොවේ
ක්සෙනියා උපත ලැබුවේ 1897දීය. ඇයට දූවරුන් තිදෙනෙක්, පුතෙක්, මුණුබුරු මිණිබිරියන් 15දෙනෙක් හා ඔවුන්ගෙත් දරුවෝ 25දෙනෙක් සිටියා. සිය ජීවිත කාලය පුරාම ඇය කළේ ඇයට දෙමාපියන් කියා දුන් දේවල්ය. යුද්ධයෙන් විනාශ වූ අබාකාහාස් ජනරජයේ සරණාගතයෙක් හැටියටයි ඇය මොස්කව් නගරයට පදිංචියට ආවේ. අබාකාහාස් ජනරජය පිහිටා ඇත්තේ කළු මුහුද හා කොකෙසස් අතරය. ඇගේ ජීවිතය ගැනත් විශේෂයෙන් ඇයට උරුමයෙන් ලැබුණු ආගම ගැනත් ඇය සෑහීමට පත් වී සිටියා.
ක්සෙනියාගේ දුව මරි 1993දී යෙහෝවාගේ සාක්ෂිකාරියක් බවට පත් වූවා. මරි නිතරම යෙහෝවා දෙවි සම්බන්ධව හා බයිබලයේ පොරොන්දු සම්බන්ධව ක්සෙනියාට කතා කළත් ඇය ඇහුම්කන් දෙන්න කැමති වුණේ නැහැ. ක්සෙනියා නිතරම කියා සිටියේ “අලුත් යමක් ඉගෙනගන්න දැන් පරක්කු වැඩියි” කියායි.
කෙසේනමුත් ඇගේ දුව මරි, මුණුබුරාගේ බිරිඳ ලොන්ඩා සහ මුණුබුරාගේ දියණියන් වන නානා හා සාසා යන මේ සියලුදෙනාම යෙහෝවා සාක්ෂිකරුවන් වී තිබුණා. මේ අය දිගින් දිගටම බයිබලය ගැන ඇයට කතා කළා. වර්ෂ 1999දී, සවස් වරුවක ඔවුන් ක්සෙනියාට කියෙවූ බයිබල් පදයක් ඇගේ සිත්ගත්තා. එහි සඳහන් වූයේ යේසුස් අන්තිම රාත්‍රි භෝජන වේලාවේදී තම විශ්වාසවන්ත ගෝලයන්ට පැවසූ හද කලතන වදන්ය. (ලූක් 22:19, 20) එදාම හවස ක්සෙනියා බයිබලය පාඩම් කිරීමට තීරණය කළා. ඒ වන විට ඇය අවුරුදු 102ක් වයස්ව සිටියා.
ක්සෙනියා මෙසේ පවසයි. “අවුරුදු 102ක් වයසැති මම දැනුයි ජීවිතයේ නියම අරමුණ දැනගත්තේ. අපේ මහිමාන්විත, ප්‍රේමනීය යෙහෝවා දෙවිට සේවය කිරීම තරම් වටිනා කිසි දෙයක් තවත් නැති බව දැන් මට තේරෙනවා. මම තාම ශක්තිමත්. මට කණ්නාඩි නැතුව කියවන්න පුළුවන්. මම පවුලේ අය සමඟ උද්යෝගයෙන් කටයුතු කරන අතර ඔවුන් හා ළඟින් ඇසුරු කරනවා.”
වර්ෂ 2000 නොවැම්බර් 5වෙනිදා ක්සෙනියා බව්තීස්ම වුණා. ඇය පවසන්නේ “යෙහෝවාට ප්‍රේමයෙන් සේවය කරන්න දැන් මම මගේ ජීවිතය කැප කරලයි තියෙන්නේ. මගේ ගේ ළඟ තියෙන බස් නැවතුම් පළේ වාඩි වෙලා යන එන අයට සඟරා හා පත්‍රිකා බෙදා දෙනවා. මාව බලන්න එන නෑදෑයින්ටත් මම යෙහෝවා ගැන සත්‍යය කියා දෙන්නේ හරිම සතුටින්.”
ක්සෙනියා ආශාවෙන් බලා සිටින්නේ ‘දරුවෙකුගේ මාංසයට වඩා ඇගේ මංසය අලුත් වී ඇය තමාගේ යෞවන දවස්වලට නැවත පැමිණෙන තුරුයි.’ (යෝබ් 33:25) සියක් වසරක් පිරුණු කෙනෙක් ජීවිතයේ අරුත ගැන බයිබලයෙන් ඉගෙනගැනීමට මහලු නැතැයි සිතුවා නම් ඔබ ගැන කුමක් කිව හැකිද?