පිරිසිදු හෘදය සාක්ෂිය රැකගැනීමට දැරූ වෙහෙස
“රියාල් 20,000 ලබාගන්නා ලෙස රජයට නියෝගයක්.” මෙම අසාමාන්‍ය සිරස් තලය මෑතකදී බ්‍රසීලියානු පුවත්පතක (Correio do Povo) පළ විය. මෙම පුවත් වැකියට පාදක වූයේ ලුඊස් ඇල්වෝ ඩි ආරෞෂූ නමැති ලියුම් බෙදාහරින්නෙකු විසින් තමන් සතු ඉඩම් කැබැල්ලක් රජයට විකිණීමේදී මුදල් පිළිබඳව ඇති වූ ගැටලුවකි. තම ඉඩමට පොරොන්දු වූ මුදලට වඩා රියාල් 20,000ක් (රුපියල් 7,44,000ක් පමණ) වැඩිපුර තමන්ට ලැබී තිබෙන බව ලුඊස් දැනගත්තේ ඉඩමේ අයිතිය රජයට පැවරීමෙන් පසුවය.
වැඩියෙන් ගෙවා ඇති මුදල නැවත දීම හිතන තරම් පහසු වූයේ නැත. රජයේ දෙපාර්තමේන්තුවලට කිහිප වතාවක්ම ගියායින් පසු, නීතිඥයෙකු මාර්ගයෙන් නඩුවක් පනවා උසාවියේදී එය නිරාකරණය කරගන්නා ලෙස ලුඊස්ට උපදෙස් ලැබිණ. “කාගේ හරි අතින් වැරදීමක් වෙලා. සංකීර්ණ රෙගුලාසි රාශියක් තිබුණ නිසා මේ ප්රශ්නය විසඳන්නේ කොහොමද කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ” කියා පැවසූ විනිසුරු එම මුදල ආපසු රැගෙන නඩු ගාස්තුව ගෙවන ලෙස රජයට නියෝග කළේ “මේ වගේ නඩුවක් මම දැක්කේ පළමු වතාවට” යයි කියමිනි.
ලුඊස් යෙහෝවාගේ සාක්ෂිකරුවෙකි. ඒ පිළිබඳව ඔහු අදහස් දක්වන්නේ මෙසේයි. “මට අයිති නැති මුදලක් ලබාගන්න බයිබල් දැනුම මත පුහුණු කළ හෘදය සාක්ෂිය මට ඉඩ දුන්නේ නැහැ. එනිසා මම ඒ මුදල ආපසු භාර දුන්නා.”
මෙවන් ආකල්පයක් බොහෝදෙනෙකු දකින්නේ අසාමාන්‍ය යමක් ලෙසයි. ඔවුන්ට එය අදහාගැනීමටත් නොහැකියි. එනමුදු දෙවිගේ වචනයෙහි සඳහන් වන්නේ, සැබෑ ක්‍රිස්තියානීන් අධිකාරීන් සමඟ ක්‍රියා කරන විට පිරිසිදු හෘදය සාක්ෂියක් තබාගැනීම වටිනා දෙයක් ලෙස සලකන බවයි. (රෝම 13:5) ‘සෑම විටම අවංක හෘද සාක්ෂියක් ඇතුව සිටීම’ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ අදිටනයි.—හෙබ්‍රෙව් 13:18, NW.