පුංචි වුණත් නුවණින් හපන්නු
“වැඩිහිටියෝ නැණවත්තු තමයි. හැබැයි දරුවෝ පුංචි වුණත් එයාලත් නුවණින් හපන්නු” යන්න එක් නයිජීරියානු ආප්තෝපදේශයකි. එම කියමන සත්‍යයක් බව නයිජීරියාවේ වෙසෙන එක් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් සොයාගත්තේය.
එඩ්වින් නමැති මෙම වැඩිමහල්ලාගේ නිවසේ මේසය යට යකඩ පෙට්ටියක් තිබී සම්බ විය.
“කාගේද මේ පෙට්ටිය” කියා එඩ්වින් තම දරු තිදෙනාගෙන් ඇසීය.
“ඒක මගේ” කියා කීවේ අට හැවිරිදි එමැනුවෙල්ය. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත වැඩ සඳහා සම්මාදම් දැමීමට සාදාගත් කුඩා සිදුරක් සහිත මෙම මල බැඳුණු පෙට්ටිය ගැන ඔහු පැවසුවේ මෙලෙසයි. “හැමදාම මම රාජ්‍ය ශාලාවට යන්නේ නැහැනේ. ඉතිං මම හිතුවා පෙට්ටියක් අරගෙන මම කඩචෝරු කන්නේ නැති දවස්වලට ඒ සල්ලි මේ පෙට්ටියට දාන්න.”
වාර්ෂිකව පවත්වන දිස්ත්‍රික් සමුළුවට යෑමට අවශ්‍ය මුදල් ඉතිරි කිරීම සඳහා එමැනුවෙල්ගේ පියාත් නිවසේ පෙට්ටියක් තබා තිබේ. ඒත් ඔවුහු ගෙදර දොරේ හදිසි අවශ්‍යතා සඳහා එහි මුදල් පරිහරණය කළහ. නමුත් එමැනුවෙල් තම සම්මාදම් වෙනත් දෙයකට යෙදවීමට තිබූ අකමැත්ත නිසා ඔහු පරණ ටින් එකක් ඇරීමට නොහැකි වන සේ පෑස්සීම සඳහා පෑස්සුම්කරුවෙකු වෙතට රැගෙන ගියේය. මෙවන් ටින් එකක් සෑදීමේ අරමුණ දැනගත් පෑස්සුම්කරු, ඉවතලන යකඩවලින් ඔහුට පෙට්ටියක් සාදා දුන්නේය. එමැනුවෙල්ගේ පස් හැවිරිදි මල්ලියා වන මයිකල්ටත් පෙට්ටියක් ඕනෑ විය.
ළමයින්ගේ ක්‍රියාකලාපය ගැන මවිතව ඔවුන් පෙට්ටි සාදාගත්තේ ඇයිද කියා එඩ්වින් ඔවුන්ගෙන් ඇසීය. “මට සම්මාදම් දමන්න” කියා මයිකල් පැවසීය.
තම දෙමාපියන්ටත් හොරා එමැනුවෙල්, මයිකල් සහ ඔවුන්ගේ නව හැවිරිදි සහෝදරිය වූ ඌචේ, තමන්ට ආපන ශාලාවෙන් කෑම ගැනීමට දුන් මුදල්වලින් කොටසක් එම පෙට්ටිවලට දමා තිබේ. මේ පුංචි සිත්වලට මෙවන් අදහසක් පැමිණියේ කෙසේද? ඔවුන්ගේ අත්වලින් රාජ්‍ය ශාලාවේ සම්මාදම් පෙට්ටියට මුදල් දමන්න හැකි වූ විගස ඔවුන්ගේ දෙමාපියන් එසේ කිරීමට ඔවුන්ට උගන්වා තිබුණි. ඇත්තෙන්ම ඔවුහු තමන් ලද පුහුණුව එයාකාරයෙන්ම ක්‍රියාත්මක කළහ.
පෙට්ටි පිරුණු පසු ඔවුන් එය විවෘත කර බැලූ විට අමෙරිකානු ඩොලර් 3.13ක් (රුපියල් 242යි ශත 31ක්) එකතු වී තිබුණි. අමෙරිකානු ඩොලර් 300ක් (රුපියල් 26,100ක්) තරම් සුළු වාර්ෂික ආදායමක් ලබන රටක එම මුදල සුළු පටු මුදලක් නොවෙයි. මෙවන් සම්මාදම් යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් රටවල් 235ක සිදු කරන දේශනා වැඩය සඳහා යොදාගැනේ.