“දේවරාජ්යයේදී අපි යළි හමු වෙමු”
“මා ප්‍රිය මිතුර! රූපට්, මට අද මරණ දඬුවම ලැබුණා. මා වෙනුවෙන් වැලපෙන්න එපා. ඔබටත් ගෙදර සිටින සැමටත් මගේ ප්‍රේමය එවමි. දේවරාජ්යයේදී අපි යළි හමු වෙමු.”
වර්ෂ 1942 ජූනි 8වනදා, ෆ්රාන්ට්ස් ඩ්රෝස්ග් මෙම වදන් ලියා තැබුවේ නාට්සි භටයන් ඔහුට වෙඩි තබා මරා දැමීමට විනාඩි කිහිපයකට පෙරය. ඔහුව ඝාතනය කරනු ලැබුවේ ඇයි?
ස්ලෝවේනියාවේ මාරිබෝර්හි ජාතික විමුක්ති කෞතුකාගාරයේ වාර්තාවල දක්නට ලැබෙන පරිදි, වයස අවුරුදු 38ක් වූ මෙම කම්මල්කරුවාව ඝාතනය කළේ, ස්ලෝවේනියාවේ කඳවුරු බැඳගත් ජර්මන් හමුදා සේනාංකයක් වූ වර්මාන්ෂාෆ්ට් සේනාංකයට බැඳීම ප්‍රතික්ෂේප කළ නිසාය. ඔහු බීබෙල්ෆෝෂර් හෙවත් බයිබල් ශිෂ්‍යයන්ගෙන් (යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව එවකට හැඳින්වූයේ එලෙසය) කෙනෙකු විය. යෙසායා 2:4ට අනුව ක්‍රියා කළ හෙතෙම, තමා දේවරාජ්‍යයේ යටත්වැසියෙකු බව ප්‍රකාශ කරමින් නාට්සි යුධ කටයුතුවලට සහයෝගය නොදෙන බව කියා සිටියේය.—මතෙව් 6:33.
ප්ටුයි නගරයේ විසූ ෆ්රාන්ට්ස් දේවරාජ්‍යයේ ශුභාරංචිය ජ්වලිතව ප්‍රකාශ කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලීය. (මතෙව් 24:14) ඔහුව 1942 මැයි මස අත්අඩංගුවට ගන්නා තෙක් ඔහු බොහෝ දුෂ්කරතා මැද්දේ නොනවත්වා ශුභාරංචිය දේශනා කළේය.
ස්ලෝවේනියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝදෙනෙකුට නාට්සි භටයෝ දරුණු පීඩා ගෙන ආහ. තම ආගමික විශ්වාසයන් හේතුවෙන් මුලින්ම ඝාතනය කරනු ලැබූවන් අතර ෆ්රාන්ට්ස් විය. පළමු සියවසේ ක්‍රිස්තියානීන් මෙන් මෙම වදන්වලින් ඔහු ශක්තිමත් විණි. “අප විසින් [දෙවිගේ] රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑය.” (ක්‍රියා 14:22) එම ස්වර්ගික ආණ්ඩුව ඔහුට කොතරම් සැබෑ දෙයක් වී තිබුණාද යන්න ඔහුගේ අවසන් වදන්වලින් මොනවට කියා පායි. “දේවරාජ්යයේදී අපි යළි හමු වෙමු.”
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
ෆ්රාන්ට්ස් ඩ්රෝස්ග්: Photo Archive-Museum of National Liberation Maribor, Slovenia; ලියුම: Original kept in Museum of National Liberation Maribor, Slovenia