ආගමික එක්සත්භාවය ඔබට කවදා හෝ දකින්ට ලැබේවිද?
“අපේ පල්ලිවල ඓතිහාසික වශයෙන් ලොකු පෙරළියක් ඇති වෙන්න යන බව පෙනෙන්නට තියෙනවා” යයි ලූතරන් ලෝක සංගමයේ සභාපති ක්‍රිස්ටියන් ක්‍රවූස් පැවසුවේය. මෙයට සමාන්තර අදහසක් දක්වමින් IIවන ජුවාම් පාවුලු පාප් පවසා සිටියේ “ක්‍රිස්තියානින්ව සම්පූර්ණයෙන් එක්සත් කිරීමට දරන දුෂ්කර ප්රයත්නයේදී අප දැන් වැදගත් සන්ධිස්ථානයකට ඇවිල්ලා තියෙනවා” කියාය.
වර්ෂ 1999 ඔක්තෝබර් 31වන දින ජර්මනියේ ඔග්ස්බර්ග්හිදී මෙම අදහස් ඉතා උද්යෝගයෙන් ප්‍රකාශ කරන ලදි. මෙය ප්‍රකාශ කළ අවස්ථාවේදී, මෙම යුක්තිසහගතභාවයේ මූලධර්මයට සහයෝගය දක්වන ඒකාබද්ධිත ප්රකාශනයක් නිල වශයෙන් අත්සන් කරන ලදි. එම විශේෂ අවස්ථාව සඳහා තෝරාගෙන තිබූ දිනය හා ස්ථානය ඉතා උචිත වන්නේ, මාටින් ලූතර් විසින් 1517 ඔක්තෝබර් 31වන දින විටින්බර්ග් නගරයේ පිහිටි මහ දෙව්මැදුරේ දොරටුවේ තර්ක 95ක් ඇතුළත් පත්‍රිකාවක් අලවන ලද බව පැවසෙන නිසයි. ප්රතිරෝමවාදී ප්‍රතිසංස්කරණයට මුල් වූයේ එම සිද්ධියයි. වර්ෂ 1530 වන විට ලූතරන්වරු ඔග්ස්බර්ග්හිදී තම ප්‍රතිපත්ති සඳහන් ඔග්ස්බර්ග් විශ්වාස ප්‍රකාශය ඉදිරිපත් කළෝය. නමුත් කතෝලික සභාව එය ප්‍රතික්ෂේප කළ අතර එය සම්මතයට පත් නොවන විවාදයකට මඟ පෑදීය. අවසානයේදී ප්රතිරෝමවාදීන් හා කතෝලිකයන් ලෙස කොටස් දෙකකට කතෝලික පල්ලිය බෙදිණ.
ඇතමෙකු පවසන පරිදි, ඒකාබද්ධිත ප්රකාශනය “පල්ලිය තුළ ඇති වූ භේදය නිරාකරණය කිරීමට අඩිතාලමක් සපයයිද?” සෑමදෙනෙකුම සර්වශුභවාදීව සිතුවේ නැත. තවද රෙපරමාදු දේවධර්මවාදීන් 250කට වැඩි සංඛ්‍යාවක් ඒකාබද්ධිත ප්රකාශනයට එරෙහිව පෙත්සමකට අත්සන් කළහ. නැවතත් කතෝලිකයන් ඔවුන්ව යටත් කරගන්න උත්සාහයක් දරන බවට එම දේවධර්මවාදීහු අනතුරු ඇඟවූහ. තවද කතෝලික සභාව වසර 2000දී සමාව දීම (lndulgence) සඳහා විශේෂ අවධානයක් යොමු කරන බව කියා සිටියේය. ඇත්තෙන්ම, අවුරුදු 500කට කලින් රෙපරමාදුවන් සමඟ ඇති වූ විවාදය උග්‍ර අතට හැරීමට මඟ පෑදුවේද එම කාරණයමය. එපමණක්ද නොව, ඔග්ස්බර්ග් විශ්වාස ප්‍රකාශය හා ට්‍රෙන්ට් මන්ත්‍රණ සභාව විසින් එය බිඳ හෙළීමට ඉදිරිපත් කළ ප්‍රකාශය තවමත් ක්‍රියාත්මක වන බැවින් සභාවන් දෙක එකඟතාවකට පැමිණීම ගව්ගානක් ඈත තිබෙන දෙයක් ලෙස පෙනෙනු ඇත.
ක්‍රිස්තියානි ලෝකය තුළ සිදු වූ දෙදරුම් කෑම් හා වාද විවාදයන්වල උග්‍ර තත්වයන් ඒකාබද්ධිත ප්රකාශනය අත්සන් කිරීමෙන් සමතයකට පත් කළ නොහැක. තවද ආගමික එක්සත්භාවය රඳා පවතින්නේ දේවවචනය වන බයිබලය මත පදනම් වූ ඇදහිල්ලක් මතය. (එපීස 4:3-6) සැබෑ එක්සත්කම පැමිණෙන්නේ දෙවි අපෙන් ඉල්ලන දේ කිරීමෙන් මිස ප්‍රතිපත්ති බාල කර එකඟ වීම්වලට පැමිණීමෙන් නොවේ. විශ්වාසවන්ත අනාගතවක්තෘ මීකා ඒ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේය. “සියලු ජනයෝ තම තමුන්ගේ දෙවිවරුන්ගේ නාමයෙන් හැසිරෙන්නෝය, අපිද අපේ දෙවිවූ [යෙහෝවාගේ] නාමයෙන් සදාකාලයටම හැසිරෙන්නෙමුව.”—මීකා 4:5.
[32වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
© Ralph Orlowski/REUTERS/Archive Photos