දිව්‍ය ප්‍රඥාව—ඔබට දැකගත හැකිද?
“දිළින්දාගේ ප්‍රඥාව සුළුකරනු ලැබේ, ඔහුගේ වචනද අසනු නොලැබේ.” එක් දිළිඳු ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙක් මහත් විනාශයකින් නුවරක් බේරාගැනීම සම්බන්ධයෙන් ප්‍රඥාවන්ත සාලමොන් රජ කළ කතාවේ අවසාන වචන ඉහත දැක්වේ. “කිසිවෙක් ඒ දිළිඳු මනුෂ්‍යයා සිහිකළේ නැත” කියාද එහි සඳහන් වීම කනගාටුවට කරුණකි.—දේශනාකාරයා 9:14-16.
යම්කිසි දිළිඳු මනුෂ්‍යයෙක් කොතරම් උසස් දේවල් කළත් මුළු සමාජයම ඔහු දෙස බලන්නේ පහත් විදිහටය. මෙය යේසුස් සම්බන්ධව කොතරම් සත්‍යය වූවාද! යෙසායා ඔහු සම්බන්ධව මෙසේ පුරෝකථනය කළේය. ‘ඔහු මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබීය. වේදනා ඇත්තාවූ දුක දන්නාවූ මනුෂ්‍යයෙක්ය.’ (යෙසායා 53:3) එවකට සිටි නායකයන්ට මෙන් රාජකීය තත්වයක් යේසුස් සතු නොවූ නිසා සමාජයේ සිටි ඇතැම් අයගෙන් හොඳ පිළිගැනීමක් ඔහුට ලැබුණේ නැත. නමුත් කිසිම මනුෂ්‍යයෙකුට නොතිබුණු අසමසම ප්‍රඥාවක් යේසුස් සතු විය. යේසුස් තමන්ගේ ගමට පැමිණ නොයෙකුත් බලවත් හා ප්‍රඥාවන්ත ක්‍රියා සිදු කළ නමුත්, ගම්වාසීහු කෘතඥපූර්වක නොවූහ. ඊට හේතුව වූයේ යේසුස්ව “වඩුවාගේ පුත්‍රයා” හැටියට සැලකූ නිසාය. නමුත් යේසුස්ව මෙසේ සැලකීම ඔවුන්ට සිදු වූ ලොකු වැරදීමකි. මන්ද “ඔවුන්ගේ ඇදහිලි නැතිකම නිසා [යේසුස්] එහිදී බොහෝ ආශ්චර්යයන් [සිදු නොකළ බැවිනි].” මෙය ඔවුන්ට මොනතරම් පාඩුවක් වීද!—මතෙව් 13:54-58.
කෙසේවෙතත් අපද එම වැරැද්ද නොකිරීමට වගබලා ගත යුතුය. “එහෙත් ප්‍රඥාව නිදොස් බව ඇගේ ක්‍රියා වලින් ඔප්පුවී තිබේ” කියා යේසුස් පැවසුවේය. දෙවිට සේවය කරමින්, දිව්‍ය ප්‍රඥාව විදහාපෙන්වන යම්කිසි පුද්ගලයෙක් විශිෂ්ටයි කියා ගණන් ගැනෙන්නේ ඔහු සතු ධන සම්භාරය හෝ සාමාජීය නිලතලවලින් නොවේ. එනමුත් බයිබලය මත පදනම් වූ ඇදහිල්ල හා ක්‍රියා වැනි “යහපත් ඵල [NW]” නිපදවීමෙනි.—මතෙව් 7:18-20, 11:19.