‘යෙහෝවා, මම ඔබගේ පූජාසනය වටා ගමන් කරන්නෙමි’
“යෙහෝවා, මම නිදොස්කමින් මාගේ අත් සෝදා, ඔබගේ පූජාසනය වටා ගමන් කරන්නෙමි.” (ගීතාවලිය 26:6, NW) පුරාණයේ විසූ දාවිත් රජ යෙහෝවාට තම භක්තිය ප්‍රකාශ කළේ මෙලෙසයි. නමුත් ඔහු යෙහෝවාගේ පූජාසනය වටා ‘ගමන් කළේ’ කෙසේද? එමෙන්ම එසේ කළේ කුමන අර්ථයෙන්ද?
දාවිත්ගේ කාලයේ, යෙහෝවාගේ නමස්කාරය කේන්ද්‍රගත වූයේ මණ්ඩපය වටාය. මණ්ඩපයෙහි තඹ ආලේප කරන ලද පූජාසනයක් තිබිණ. දාවිත්ගේ පාලන සමයේදී එය තබා තිබුණේ යෙරුසලමට උතුරින් පිහිටි ගිබියොන් නම් ප්රදේශයේය. (1 රාජාවලිය 3:4) පූජාසනයේ ප්‍රමාණය වූයේ වර්ග මීටර් 2.2ක් පමණි. පසු කලෙක සාලමොන්ගේ දේවමාළිගාවේ පිට මළුවේ මීට වඩා සෑහෙන විශාල පූජාසනයක් සාදන ලදි.a කෙසේ වෙතත්, ඉශ්‍රායෙලිතයන් සඳහා සැබෑ නමස්කාරයේ කේන්ද්‍රස්ථානය වූ මණ්ඩපය හා එහි පූජාසනයෙන් දාවිත් ඉමහත් ප්‍රීතියක් අත් කරගත්තේය.—ගීතාවලිය 26:8.
දවන පූජා, සමගි කිරීමේ පූජා හා අපරාධ පූජා මෙම පූජාසනය මත ඔප්පු කරන ලදි. එමෙන්ම වාර්ෂික සමගි කිරීමේ දවසේදී මුළු ජාතිය වෙනුවෙන්ම ඒ මත පූජා ඔප්පු කරනු ලැබීය. පූජාසනයත්, ඒ මත ඔප්පු කළ පූජාවනුත් අදදින ක්‍රිස්තියානීන්ට අර්ථාන්විත දෙයක් වෙයි. පූජාසනය දෙවිගේ කැමැත්ත නියෝජනය කරන බව ප්‍රේරිත පාවුල් පැහැදිලි කළේය. දෙවි එම කැමැත්තට එකඟව මනුෂ්‍යවර්ගයාගේ ගැළවීම උදෙසා සුදුසු පූජාවක් පිළිගත්තේය. පාවුල් මෙසේ පවසයි. ‘ඒ කැමැත්ත පරිද්දෙන් යේසුස් ක්‍රිස්තුස්ගේ ශරීරය එකම වරක් පූජා කිරීම කරණකොටගෙන අපි පිරිසිදු කරනු ලැබුවෙමු.’—හෙබ්‍රෙව් 10:5-10.
සාමාන්‍යයෙන් පූජාසනය ඉදිරියෙහි සේවය කිරීමට පෙර පූජකයෙක් තමාගේ අත් සෝදාගෙන පිරිසිදු වූයේය. දාවිත් ‘පූජාසනය වටා ගමන් කිරීමට’ පෙර “නිදොස්කමින්” තමාගේ අත් සෝදාගත්තේ හොඳ හේතු ඇතුවයි කියා මින් පැහැදිලි වේ. ඔහු “සිතේ ඇද නැතිකමින්ද අවංකකමින්ද” හැසිරුණේය. (1 රාජාවලිය 9:4) මෙලෙස ඔහු නිදොස්කමින් තම අත් සෝදා නොගත්තා නම්, ඔහුගේ නමස්කාරය නොහොත් ‘පූජාසනය වටා ගමන් කිරීම’ පිළිගත නොහැකි යමක් වීමට ඉඩ තිබිණ. ලෙවීවරයෙකු නොවූ දාවිත්ට පූජාසනයේ සේවය කිරීමේ වරප්‍රසාදය නොතිබූ බව ඇත්තයි. ඔහු රජව සිටියත්, මණ්ඩපයේ මළුවට ඇතුල් වීමටවත් ඔහුට අවසර නොතිබිණ. කොහොම වුණත්, විශ්වාසවන්ත ඉශ්‍රායෙලිතයෙක් වශයෙන් මෝසෙස්ගේ ව්‍යවස්ථාවට කීකරු වෙමින් දාවිත් පූජාසනය මත ඔප්පු කිරීම සඳහා නිතිපතා තම පූජා රැගෙන පැමිණියේය. ඔහු පූජාසනය වටා ගමන් කළේ, තම ජීවිතය සත්‍ය නමස්කාරය වටා ගොඩනැංවීමෙනි.
අදදින අපටත් දාවිත්ගේ ආදර්ශය අනුගමනය කළ හැකිද? ඇත්තෙන්ම අපට එසේ කළ හැක. අප ‘පවිත්‍ර අත් සහ පිරිසිදු සිතක් ඇතුව’ යේසුස්ගේ පූජාව කෙරෙහි ඇදහිල්ල ප්‍රකාශ කරමින් මුළු හදින්ම යෙහෝවාට සේවය කරනවා නම්, නිදොස්කමින් අත් සෝදා දෙවිගේ පූජාසනය වටා අපටත් ගමන් කළ හැකියි.—ගීතාවලිය 24:4.
[පාදසටහන]
a එම පූජාසනයේ ප්‍රමාණය වර්ග මීටර් 9ක් පමණ විය.
[23වන පිටුවේ පින්තූරය]
පූජාසනය දෙවිගේ කැමැත්ත නියෝජනය කරයි. එයට එකඟව ඔහු මනුෂ්‍යවර්ගයාගේ ගැළවීම උදෙසා සුදුසු පූජාවක් පිළිගත්තේය