ඔහු මියගියේ ප්‍රතිපත්තියක් නිසයි
“යෙහෝවාගේ සාක්ෂිකරුවෙකු වූ ඕගස්ට් ඩික්මන්ව (උපත 1910) අපි සිහි කරමු.” සාක්සන්හව්සන් ගාල් කඳවුරෙහි මෑතකදී විවෘත කළ ස්මාරකයක (මෙහි දක්වා ඇති) කෙටූ වැකිය පටන්ගන්නේ එලෙසයි. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් වෙනුවෙන් එවැනි ස්මාරකයක් ඉදි වුණේ ඇයි? වැකියේ ඉතිරි කොටසෙන් හේතුව පැහැදිලි වෙයි: “හෘදය සාක්ෂිය නිසා එකඟ නොවීම හේතුවෙන්, 1939 සැප්තැම්බර් 15වනදා නාට්සීන් [ඔහුට] වෙඩි තබා ප්‍රසිද්ධියේ මරා දැමීය.”
ඕගස්ට් ඩික්මන්ව, 1937දී සාක්සන්හව්සන් ගාල් කඳවුරෙහි සිර කරනු ලැබුවා. වර්ෂ 1939දී IIවන ලෝක මහා යුද්ධය ඇරඹීමෙන් දින තුනකට පසුව යුධ හමුදාවට බඳවාගැනීමේ පත්‍රයට අත්සන් තැබීමට ඔහුට නියෝග කළා. ඔහු ප්‍රතික්ෂේප කළ විට, කඳවුරේ අණ දෙන නිලධාරියා SS බලකායේ පාලක (ෂුට්ස්ටාෆල්, එනම් හිට්ලර්ගේ ප්‍රධාන ආරක්ෂක බලකාය) හයින්රිච් හිම්ලර් වෙත කාරණය යොමු කර, කඳවුරේ අනිත් සියලු සිරකරුවන් ඉදිරියේ ඩික්මන්ව මරා දැමීමට අවසර ඉල්ලුවා. වර්ෂ 1939 සැප්තැම්බර් 17වනදා ජර්මනියේ ද නියූ යෝක් ටයිම්ස් මෙසේ වාර්තා කළා: “යුධභටයන් කණ්ඩායමක් 29හැවිරිදි ඕගස්ට් ඩික්මන්ට . . . මෙහිදී වෙඩි තබා ඇත.” එම යුද්ධයේදී හෘදය සාක්ෂිය නිසා එකඟ නොවූ මුල්ම ජර්මානු ජාතිකයා ඔහු බවයි පුවත්පතේ පවසා තිබුණේ.
වසර 60කට පසුව, 1999 සැප්තැම්බර් 18වනදා බ්‍රැන්ඩන්බර්ග් අනුස්මරණ ආයතනය මගින් ඩික්මන්ගේ මරණය සිහි කරනු ලැබුවා. ඩික්මන්ගේ අනුස්මරණ ස්මාරකය, එය දකින අමුත්තන්ට ඔහුගේ නිර්භීතකම හා ශක්තිමත් ඇදහිල්ල සිහිගන්වයි. තම විශ්වාසයන් නිසා සාක්සන්හව්සන්හි දුක් වින්ද 900ක් පමණ වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් ඩික්මන් එක්කෙනෙක් විතරයි කියා එම කඳවුරේ තාප්පයෙන් පිටත තිබෙන දෙවන ස්මාරකය අමුත්තන්ට සිහිගන්වනවා. තවත් බොහෝදෙනෙක් වෙනත් කඳවුරුවල දුක් වින්දා. ඔව්, වධක කඳවුරුවල ඉතාමත් දරුණු තත්වයන් යටතේ පවා, බොහෝදෙනෙක් දේවප්‍රතිපත්තිවලට විශ්වාසවන්තව සිටියා.
යෙහෝවාගේ සාක්ෂිකරුවන් “ඉහළ [ආණ්ඩු] බලධාරීන්ට යටත්ව සිටීම” ක්‍රිස්තියානි යුතුකමක් හැටියට සලකනවා. (රෝම 13:1, NW) කෙසේවුවත්, දෙවිගේ නීති උල්ලංගනය කිරීමට ආණ්ඩු මගින් ඔවුන්ට බල කරන විට, ඔවුන් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන්ගේ ආදර්ශය අනුගමනය කරනවා. “මනුෂ්‍යයන්ට වඩා [පාලකයා වශයෙන් දෙවිට, NW] අප විසින් කීකරු විය යුතුය” කියා ඔවුන් පැවසුවා. (ක්‍රියා 5:29) ප්‍රතිඵලයක් වශයෙන්, ගෝත්‍රික සතුරුකම් හා ජනවාර්ගික බද්ධ වෛරයන් නිසා තැතිගන්වනසුලු සාහසිකකම් පවතින ලෝකයක, යෙහෝවාගේ සාක්ෂිකරුවන් කොතැන සිටියත් ඕගස්ට් ඩික්මන් මෙන් සාමය ලුහුබඳිමින් සිටිනවා. ඔවුන් “නපුරුකමෙන් පරාජය නොවී, යහපත්කමෙන් නපුරුකම පරාජයකරන්න” යන බයිබලයේ තිබෙන අවවාදය අනුගමනය කරමිනුයි සිටින්නේ.—රෝම 12:21.