අපට අදදින උපකාර කරන්න බයිබලයට හැකිද?
“සමස්තයක් වශයෙන් ගත්තහම, මුළු බයිබලයෙන් සියයට 1ක් පමණ කියවීම වටිනවා වුණත්, ඉතිරි කොටස අදට අදාළ වෙන්නේ නැහැ; ඒ වගේම යල් පැනලා.” තරුණයෙක් එසේ පැවසුවා. බොහෝදෙනෙක් ඔහුට එකඟ වනු ඇත. ලොව පුරා වැඩියෙන්ම අළෙවි වන පොත බයිබලය වුවත්, මිලියන සංඛ්‍යාතයක් ඒ කෙරෙහි දක්වන්නේ අල්ප අවධානයක්. එමෙන්ම එහි ඉගැන්වීම් සම්බන්ධයෙනුත් ඔවුන්ට දැනුමක් නැහැ.
සූට්ඩොයිච ට්සයිටුං යන ජර්මන් පුවත්පතේ 1996 නත්තල් පිටපතෙහි, බයිබලය “කියවන්නන් එන්න එන්නම අඩු වී” යන බව ප්‍රකාශ කර තිබුණා. “ස්වාභාවික විද්‍යාවන් ගැන වැඩි වැඩියෙන් උනන්දුවක් දක්වන හා ආත්මික කාරණා ගැන තිබෙන උනන්දුව හීන වී ගෙන යන යුගයක, බොහෝදෙනෙකුට බයිබල් වාර්තා පෙනෙන්නේ අමුතු, තේරුම්ගන්න අමාරු ඒවා විදිහටයි.” සමීක්ෂකයන් මේ වාර්තාව ස්ථිර කරනවා. අඩු තරමින් යේසුස් කවුද කියලවත් හරියට නොදන්නා දරුවන් විශාල සංඛ්‍යාවක් සිටින බව ඇතැම් අධ්‍යයනයන් හෙළි කරනවා. එක් සමීක්ෂණයකදී, අකීකරු පුත්‍රයා සහ යහපත් සමාරියයා පිළිබඳ බයිබල් කතන්දර පැහැදිලි කිරීමට හැකි වූයේ විමසූ ජනයාගෙන් අඩකටත් අඩු සංඛ්‍යාවකට පමණයි.
ස්විට්සර්ලන්තයෙහි, කලින් බයිබලයට තිබූ ඉල්ලුම දැන් නොතිබෙන බව ස්විස් ජාතික එවැන්ජලිස්ත සභාවේ ප්රකාශනයක් වන රෙෆෝමෙයාටේ ෆෝරම් ප්‍රකාශ කරයි. බයිබලයක් සතු අය අතර පවා, සමහරෙකුගේ බයිබල් බොහෝවිට රාක්කවල නිකම්ම දූවිලි ගැහෙමින් තිබෙනවා. බ්‍රිතාන්‍යයෙත් තත්වය එයමයි. එක් සමීක්ෂණයකට අනුව, වැඩිදෙනෙක් සතුව බයිබලයක් තිබුණත්, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් එය කොහෙත්ම නොකියවන තරම්ය.
අනිත් අතට, ලොව පුරා මිලියන සංඛ්‍යාතයකට බයිබලය ගැන හැඟෙන්නේ වෙනස් ආකාරයකටයි. ඔවුන් එය දේවවචනය ලෙස සලකන අතර එය වටිනා මෙන්ම ප්‍රයෝජනදායක එකක් හැටියට සලකනවා. මෙබැවින්, ඔවුන් එය නිතිපතා කියවනවා. එක් තරුණ කාන්තාවක් මෙසේ ලිව්වා: “මම හැම දවසකම බයිබලයේ පරිච්ඡේද එකක් හෝ දෙකක් කියවන්න උත්සාහ කරනවා. මම ඒකෙන් ලොකු ප්‍රීතියක් ලබනවා.” බයිබලයේ උගන්වන දේ ගැන එවැනි පුද්ගලයන් පරෙස්සමින් සලකා බලන අතර, තම ජීවිතයට එහි උපදෙස් අදාළ කරගැනීමට වෑයම් කරනවා. අදදින ගැටලුවලින් පිරි ලෝකයෙහි ඔවුන්ට උපකාර කරන්න බයිබලයට හැකි බව ඔවුන් විශ්වාස කරනවා.
ඔබේ අදහස කුමක්ද? බයිබලය නවීන කාලවලට අදාළ වනවාද? එසේ නැතහොත්, එය වටිනා මෙන්ම ප්‍රයෝජනදායකද? අපට අදදින උපකාර කරන්න බයිබලයට හැකිද?