“ඇදහිල්ලෙන් බිහි වුණ ප්‍රබල චරිත”
ගීකැනොනීසි රචනා කළ ලේ තෙමුඈන් ද ජෙහෝවා ෆාස් ආ ඉට්ලර් (හිට්ලර් හමුවෙහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්) යන නව කෘතිය 1998 වසරේදී විවේචකයන්ගේ මහත් ප්‍රශංසාව මැද එළිදැක්කා. මෙම පොතේ පෙරවදන ලියූ ෆ්රොන්ස්වාබේදාරීදා නමැති ප්‍රකට ප්‍රංශ ඉතිහාසඥයා මෙසේ කියයි: “මෙම පොත ලැබීම ගැන හුඟාක් සතුටු වෙනවා. එයට හේතුව එය, සිදු වූයේ කුමක්ද යන්න ගැන තිබුණ තොරතුරුවල අඩුව පිරෙවූ නිසා පමණක්ම නොව නමුත් එය කාලෝචිත වන නිසාත්ය. . . . විශේෂඥයන් හැර තුන්වන රයික් ආණ්ඩුව යටතේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට සිදු වූ දේ දන්නේ කවුද? නමුත්, වසර 12ක් පුරා පැවති මෙම පාලන තන්ත්රය යටතේ ඔවුන්ට අනුකම්පා විරහිත හා අධික කෲරත්වයෙන් මෙන්ම සැහැසියාවෙන් යුත් කටුක වද හිංසා විඳින්න සිද්ධ වුණා. ඔවුන්ටද වධක කඳවුරුවල කුරිරු අද්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔවුන්ට ඔවුන්ගේ ඇදහිල්ල හා ස්ථිර විශ්වාසය නිසා මහත් පරිත්‍යාගයක් කරන්න සිද්ධ වුණා. ඉතිහාසය මෙම ක්‍රිස්තියානීන්ව මතකයෙන් ඉවත් කොට තිබෙන්නේ ඇයි?. . . .
“මෙවන් කුඩා, විසිරුණු, අහිංසක නිකායකට මෙතරම් දරුණු පීඩා ක්‍රමානුකූලව එල්ල වූයේ මන්ද? අදහාගන්නට අපහසු නමුත් ඇත්තවශයෙන් සිදු වූ දෙයෙහි සාරය මෙයයි. සාක්ෂිකරුවන්, ජර්මනියේ එවකට විසූ ජනගහනයෙන් අතලොස්සක්ව සිටියා පමණක් නොව, ඔවුන් තම රැකියා කර තම දරුවන්ව හරියාකාරව ඇති දැඩි කිරීමට ආශා වූ, නීතියට ගරු කළ හා කාටවත් තර්ජනයක් එල්ල නොකළ සාමකාමී කාණ්ඩයක් වුණා. සංඛ්‍යා ලේඛන හෙළි කරන ආකාරයට, පුරවැසියන් මිලියන 60කින් සාක්ෂිකාරයන් සිටියේ 20,000ක් පමණයි. . . .
“දැඩි පීඩා මධ්‍යයෙහි පසු නොබසින ආත්මික ස්ථාවරයක් රැකගත් යේසුස් ක්‍රිස්තුස්ගේ මෙම අනුගාමිකයන්, ඇදහිල්ලේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූ අභ්‍යන්තර ශක්තියක් විදහාපෙන්වුවා. මේ හේතුවෙන්, රහස් පොලිසිය විසින් තමන්ට එල්ල කළ අමානුෂික වද හිංසා මෙන්ම වෙනත් බාහිර පීඩාවලට ඔවුන් සාර්ථක ලෙස මුහුණ දෙමින් ප්‍රාණ පරිත්‍යාගිකයන් හා වීරයන් ලෙස ජයගත්තා.”
ආගමික නොරිස්සීම හමුවෙහි, ක්‍රිස්තියානි භක්තිය වෙනුවෙන් සිය දිවි පුද කළ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ කතාන්තරය බලවත් එකකි. ලා කෘවා නමැති ප්‍රංශ භාෂාවෙන් පළ වන කතෝලික පුවත්පත, පොත සම්බන්ධයෙන් මෙම තියුණු අදහසද එකතු කරයි: “ඔවුන්ගේ සැඟවුණු ඉතිහාසය පිළිබඳව ගී කැනොනීසි සාක්ෂි රැසක් එක්කාසු කොට ඇත. සරලව කිව්වොත් දරුවන්ට පවා තිබුණු, මරණය දක්වා නොසෙලවිය හැකි ඇදහිල්ලෙන් බිහි වුණ මෙවන් ප්‍රබල චරිත ගැන අසන්න ලැබෙද්දී අපි මවිතයට පත් වෙනවා. මෙම සිහි කිරීම්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි ස්වභාවය ගැන අද පහළ කර තිබෙන සැකයන්වලට පැහැදිලි පිළිතුරක් සැපයීමට උපකාර විය යුතුයි.”