දිගු කාලීන ජීවිතයක් සොයා අප යන ගමන
“ස්ත්‍රියගෙන් උපන් මනුෂ්‍යයා ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ කෙනෙක්ය. ඔහු මලක් මෙන් හටගෙන පහවීයන්නේය, ඔහු නොපැවතී සෙවණැල්ල මෙන් පලායන්නේය.”—යෝබ් 14:1, 2.
ජීවිතය කෙටියි යන මෙම අදහස මීට වසර 3,500කට පමණ පෙර ලියා තිබුණත් අදදින පවා එම අදහසට එකඟ නොවන්නේ ස්වල්පදෙනෙක් පමණයි. කෙටි කාලයකට තරුණ ජීවිතයේ රසය විඳ, පසුව වයසට ගොස් මියයෑම සෑහීම ගෙන දෙන්නක් නොවන බව ජනයාට සැමවිටම හැඟී තිබෙන දෙයක්. එනිසා, ඉතිහාසය පුරාම ජීවිතය දිගු කරගැනීමේ ක්‍රම අත්හදා බලා තිබෙනවා.
යෝබ්ගේ කාලයේදී මිසරවරුන් තම තරුණබව යළි අත් කරගැනීමේ නිෂ්ඵල වෑයමක් වශයෙන් සත්ව වෘෂණ කෝෂ ආහාරයට ගත්තා. මධ්‍යකාලීන රසවිද්යාවේ එක් මූලික අභිප්රායක් වුණේ දිගු කාලීන ජීවිතයකට මඟ පාදන අමෘතයක් නිෂ්පාදනය කිරීමයි. කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කළ රත්රන් අමරණීය ජීවිතයක් ලබා දෙනු ඇති බවටත්, රත්රන් පිඟන්වල ආහාර අනුභව කිරීමෙන් ජීවිතය දීර්ඝ කළ හැකි බවටත් බොහෝ රසවිද්යාඥයන් විශ්වාස කළා. භාවනාව, හුස්ම ඉහළ පහළ දැමීමේ ව්‍යායාමය හා ආහාර පාලනය වැනි ක්‍රම යොදාගෙන තම ශරීරයේ රසායනික ක්‍රියාවලිය සකස් කරගැනීමෙන් අමරණීයත්වයක් ලබාගත හැකියි කියා පැරණි චීන තවෝවාදිකයන් සිතුවා.
ස්පාඤ්ඤ ජාතික ගවේෂකයෙකු වූ හ්වාන් පොන්සෙ දෙ ලෙඕන් තාරුණ්‍යයේ උල්පත සෙවීමේ අසාර්ථක වෑයමක නිරත වූ බව ප්‍රසිද්ධයි. යෞවන කන්‍යාවන්ව වසන්ත කාලේදී කුඩා කාමරයක තබා, ඔවුන් පිට කරන හුස්ම බෝතල්වලට අසුරා, එය ආයු වැඩි කරන පානයක් හැටියට යොදාගැනීමට දහඅටවන සියවසේ වෛද්‍යවරයෙක්, හර්මිපුස් රෙඩිවිවුස් නම් සිය පොතෙහි නිර්දේශ කර තිබුණා. මේ එක ක්‍රමයක්වත් සාර්ථක නොවූ බව අමුතුවෙන් කිව යුතු නැහැ.
මෝසෙස් යෝබ්ගේ ප්‍රකාශය වාර්තා කර වසර 3,500කට පමණ පසු, අදදින, මනුෂ්‍යයා සඳ මත ගමන් කර ඇති අතර, මෝටර් රථ හා පරිගණක සාදා, පරමාණුව හා සෛලය ගැන කිට්ටුවෙන් අධ්‍යයනය කර තිබෙනවා. එහෙත්, ඒ හැම තාක්ෂණික දියුණු වීමක්ම තිබුණත්, අපි තවමත් “ස්වල්ප දවසක් පවතින්නාවූ කරදරයෙන් පූර්ණවූ” අයයි. පසුගිය සියවස පුරා සංවර්ධිත රටවල ආයු අපේක්ෂාව පුදුම විදිහට වැඩි වී තිබෙනවා කිව්වොත් එය නිවැරදියි. නමුත් මෙය ප්‍රධාන වශයෙන් වැඩිදියුණු වූ සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රම, වඩාත් ඵලදායී සනීපාරක්ෂක ක්‍රම හා වඩාත් හොඳ පෝෂණය හේතුවෙන් සිදු වූවක්. උදාහරණයක් වශයෙන්, 19වන සියවසේ මැදභාගයේ සිට 1990 ගණන්වල ආරම්භය දක්වා, ස්වීඩනයේ සාමාන්‍ය ආයු කාලය පිරිමින් සඳහා 40 සිට 75 දක්වාත්, ස්ත්‍රීන් සඳහා 44 සිට 80 දක්වාත් වැඩි වුණා. නමුත් වඩාත් දිගු කලක් ජීවත් වීමට මනුෂ්‍යයාට තිබෙන ආශාව සම්බන්ධයෙන් සෑහීමකට පත් වී තිබෙන බවක් මින් අදහස් කරනවාද?
නැහැ. එසේ නොවන්නේ, ඇතැම් රටවල වැඩි ජනතාවක් මහලු විය වන තෙක් ජීවත් වුණත්, වසර ගණනකට පෙර මෝසෙස් ලියූ මෙම වචන තවමත් අදාළ වන නිසයි: “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.” (ගීතාවලිය 90:10) නුදුරු අනාගතයේදී අපි වෙනසක් දකීවිද? මනුෂ්‍යයාට මීට වඩා දීර්ඝ කාලයක් ජීවත් වීමට හැකියාව ලැබෙයිද? ඊළඟ ලිපිය එවැනි ප්‍රශ්න ගැන සාකච්ඡා කරයි.