හොඳ ආශ්‍රිතයන් තෝරාගැනීම සඳහා මඟ පෙන්වීම
යෞවනයන්, ඇඳුම් පැළඳුම් සහ සංගීතය සම්බන්ධයෙන් මඟ පෙන්වීම ලබාගැනීම සඳහා දෙමව්පියන් දෙස බලනවාට වඩා ඔවුන් තම තුල්‍යයන් දෙසයි බලන්නේ කියා රීඩ’ස් ඩයිජෙස්ට් සඟරාවේ පළ වූ ලිපියක සඳහන් වෙනවා. එනිසා, තම දරුවන් ආශ්‍රය කරන්නේ කා සමඟද, එමෙන්ම කොහේදීද කියා දෙමාපියන් විසින් දැනගැනීම ඉතාමත් වැදගත් වෙනවා.
“සොයා බැලීම ඔබේ වගකීමයි” කියා දකුණු අප්‍රිකානු විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ දේශකවරියක් වන එස්මි වාන් රෙන්ස්බ’ග් පවසනවා. තවදුරටත් ඇය මෙසේ පවසනවා: “ඔබේ දරුවා ඔබත් සමඟ කිපෙන අවස්ථා තිබිය හැකි වුණත්, පසුව ඔවුන්ගේ තරහ සංසිඳෙන්න යනවා.” ඉන්පසු ඇය දෙමව්පියන්ට පහත සඳහන් උපදෙස් දෙනවා. ඔබ විසින් දමන නීති සාධාරණ විය යුතු අතර, ඒවාට අදාළ නිශ්චිත ප්‍රතිපත්ති තිබිය යුතුයි; ඔබේ දරුවාට සවන් දෙන්න. අනවශ්‍ය අයුරින් ප්‍රතිචාරය දක්වන්න එපා, සන්සුන් වන්න. එමෙන්ම ඔබට පවසන්න අවශ්‍ය දේ හොඳින් මනසට ගන්න. ඔබේ දරුවා දැනටමත් නුසුදුසු ආශ්‍රිතයෙක් සමඟ මිත්‍රකමක් ඇති කරගෙන තිබේ නම්, තවදුරටත් ආශ්‍රය කිරීම නිකම්ම තහනම් කරනවා වෙනුවට, එම මිත්‍රකම නිසා ඇති වී තිබෙන පිළිගත නොහැකි හැසිරීම වෙත අවධානය යොමු කරන්න.
දෙමව්පියන් සඳහා කදිම උපදෙස් දිගු කාලයක සිට දෙවිගේ වචනය වන බයිබලයෙහි දක්නට ලැබෙනවා. උදාහරණයකට, එහි මෙසේ සඳහන් වෙනවා: “ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමටත් උදහස්වීමටත් ප්‍රමාද වේවා.” (යාකොබ් 1:19) ආශ්‍රිතයන්ව තෝරාගැනීම සම්බන්ධයෙන්ද, ශුද්ධ ලියවිලි මෙම කදිම උපදෙස් සපයනවා: “ඥානවන්තයන් කැටුව යන්න, එවිට නුඹ ඥානවන්තවන්නේය; එහෙත් ආඥානයන්ගේ සමාගම්කාරයාට වේදනා සිදුවන්නේය.” (හිතෝපදේශ 13:20) බයිබලය අගය කිරීමකින් යුක්තව කියවන, එමෙන්ම එහි පවසන දේ එදිනෙදා ජීවිතයට අදාළ කරගන්නාවූ අය සඳහා ප්‍රඥාව ලබාගත හැකි බව මෙම උදාහරණවලින් නිදර්ශනය වෙනවා.