‘සිදු වන දේ කලින් දැකීම’ සඳහා ඥානය
“ඔවුන් තමන්ගේ සිහි නුවණ නැති කරගත් ජාතියකි; ඔවුන් තුළ තේරුම්ගැනීම නැත. ඔවුන් නැණවත් වුණා නම්, ඔවුන් මෙය තේරුම්ගෙන, ඔවුන්ට සිදු වන දේ කලින් දකිනු ඇත.”—ද්විතීය කථාව 32:28, 29, බෙක්.
ඉශ්රායෙල්වරුන් පොරොන්දු දේශයේ සීමාවෙහි සිටගෙන සිටිද්දී මෝසෙස් මේ වචන ඔවුන්ට පැවසුවා. ඔවුන් යෙහෝවාව අත්හැර, ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල සම්බන්ධයෙන් සැලකිල්ලක් නොදක්වන කාලයක් තිබෙයි කියා මෝසෙස් පුරෝකථනය කරමින් සිටියා. ඉන්පසු ඇති වූ සියවස්වලදී, බොහෝ රජවරුන් ඇතුළු ඉශ්රායෙලයේ ජනයා දෙවිගේ අනතුරු ඇඟවීම් නොසලකා හැරියා.
උදාහරණයක් වශයෙන්, යෙහෝවාට හැර වෙන දෙවිවරුන්ට නමස්කාර කරන අයව විවාහ කර නොගන්න කියන දිව්‍ය අණ සාලමොන් දැනගෙන සිටියා. (ද්විතීය කථාව 7:1-4) කෙසේනමුත්, ඔහු ‘බොහෝ අන්‍ය ජාති ස්ත්‍රීන්ව’ පාවාගත්තා. ප්‍රතිඵලය? බයිබල් වාර්තාව මෙසේ පවසනවා: “සාලමොන් මහලුවූ කල ඔහුගේ භාර්යාවෝ ඔහුගේ සිත අන් දෙවිවරුන් වෙතට හැරෙවුවෝය. ඔහුගේ සිතද තමාගේ පියවූ දාවිත්ගේ සිතමෙන් තමාගේ දෙවිවූ [යෙහෝවා] කෙරෙහි සම්පූර්ණව නොතිබුණේය.” (1 රාජාවලිය 11:1, 4) සාලමොන් ඥානවන්ත මනුෂ්‍යයෙක් වුවත්, තමන් දෙවිගේ අණට අකීකරු වුණොත් ‘සිදු වන දේ කලින් දැකීමට’ නොහැකි වන සේ, ඔහුගේ සිහි නුවණ හීන වී තිබුණා.
අප ගැන කුමක් කිව හැකිද? ජීවිතයේ ගත යුතු තීරණ සම්බන්ධයෙන් අපි කලින් හොඳින් සිතා බලනවා නම් අපට බොහෝ වේදනාවලින් වැළකිය හැකියි. උදාහරණයක් වශයෙන්, “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් [තමන්ව] පවිත්රකර” ගන්න කියා ක්‍රිස්තියානීන්ට අවවාද කර තිබෙනවා. (2 කොරින්ති 7:1) මෙය ඥානවන්ත වුණත්, තමන් පාවුල්ගේ අවවාදය නොසලකා හැරියොත් සිදු විය හැකි දේ කලින් දැකීමට හැකි සිහි නුවණ බොහෝදෙනෙකුට නැහැ. නිදසුනක් ලෙස, බොහෝ යෞවනයන් තමන්ට වැදගත් මෙන්ම වැඩිහිටි පෙනුමක් ගෙන දෙනවායයි සිතමින් දුම් බොමින් තම ශරීර නාස්ති කරගන්නවා. ජීවිතයේ පසු කාලෙකදී, සෑහෙනදෙනෙක් හෘද රෝග, පෙණහලු පිළිකා හෝ එම්පිසිමාව වැනි ප්‍රතිඵලවලින් වේදනා විඳීම මොනතරම් ඛේදජනකද!
අපේ තීරණ හා ක්‍රියාවල ප්‍රතිඵල සම්බන්ධයෙන් බැරෑරුම් ලෙස සලකා බැලීම වැදගත්. පාවුල් මෙසේ ලීවේ හොඳ හේතු ඇතුවයි: “මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය. ඒ හැටියට තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය; [ආත්මය] සඳහා වපුරන්නා [ආත්මයෙන්] සදාකාල ජීවනය කපාගන්නේය.”—ගලාති 6:7, 8.