යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ ඇයි?
“ක්‍රිස්තියානීන් නොවන බොහෝදෙනෙක් පවා ඔහු ශ්‍රේෂ්ඨ සහ ප්‍රඥාවන්ත ගුරුවරයෙක් වූ බව විශ්වාස කරනවා. නියත වශයෙන්ම ඔහු මෙතෙක් ජීවත් වූ වැඩිම බලපෑමක් කළ පුද්ගලයන් අතරෙන් කෙනෙක්.” (ලෝක විශ්වකෝෂය, ඉංග්‍රීසියෙන්) “ඔහු” කවුද? ඔහු තමයි ක්‍රිස්තියානි ධර්මයේ නිර්මාතෘවරයා වන යේසුස් ක්‍රිස්තුස්.
විශ්වකෝෂය කෙසේ පැවසුවත්, පෙරදිග රටවල සහ වෙනත් ප්‍රදේශවල සිටින මිලියන සිය ගණනකට නම් යේසුස් ක්‍රිස්තුස් කියන්නේ අමුත්තෙක්. එනම් ඔවුන්ට පාසැල් අච්චු පොත්වල කියවන්න ලැබෙන නිකම්ම නිකම් නමක් පමණයි. ඇත්තෙන්ම අප යේසු ගැන දන්නේ නැහැ කියා පවසන, එමෙන්ම ඔහුගේ ජීවිතය ගැන කරුණු ඇතුළත් දැනටමත් පවතින, බයිබලයේ අඩංගු වාර්තා හතරේ (සුවිශේෂවල) සත්‍යතාව ගැන සැක පහළ කරන දේවධර්මාධරයන් සහ පූජකයන් ක්‍රිස්තියානි ලෝකයේ පල්ලිවල පවා සිටිනවා.
යේසුගේ ජීවිත කතාව සුවිශේෂ ලේඛකයන් විසින් ගෙතූ එකක් විය හැකිද? කොහෙත්ම නැහැ! එම සුවිශේෂ වාර්තාවන් හොඳින් පරීක්ෂා කර බැලීමෙන් පසු සුප්‍රසිද්ධ ඉතිහාසඥ විල් ඩියූරන්ට් මෙසේ ලිව්වා: “එතරම් ප්‍රබල හා සිත්ගන්නා පෞද්ගලිකත්වයක්, එතරම් උසස් ආචාර ධර්ම හා මනුෂ්‍ය සහෝදරත්වය පිළිබඳ එතරම් පොලඹවනසුලු දෘෂ්ටියක් එක පරම්පරාවක් තුළ සිටි සාමාන්‍ය මනුෂ්‍යයන් කීපදෙනෙක් විසින් අමුතුවෙන්ම නිර්මාණය කිරීම, සුවිශේෂවල වාර්තා කර තිබෙන කිසිඳු ආශ්චර්යයකටත් වඩා විශ්වාස කළ නොහැකි දෙයක් වනු ඇත. දශක දෙකක් තුළ කර ඇති දැඩි විවේචනයන්ගෙන් පසු යේසුගේ ජීවිතය, චරිතය සහ ඉගැන්වීම් පිළිබඳ තොරතුරු, පිළිගැනීම සඳහා ප්‍රමාණවත් හේතු තිබෙන අතර, එය බටහිර ලෝකයේ ඉතිහාස පිටුවල වඩාත් චිත්තාකර්ෂණීය විස්තරය වශයෙන් පවතියි.”
නමුත් යේසුගේ අනුගාමිකයන්යයි කියාගන්නාවූ අය විසින් කර ඇති දේවල් නිසා, තම අවධානය ලැබීමට නොවටිනා කෙනෙක් ලෙස සලකා යේසුව ප්‍රතික්ෂේප කරන අය තවමත් සිටිනවා. ‘ඔවුන් නාගසාකිවලට පරමාණු බෝම්බයක් හෙළුවා. අනික ජපානයේ තිබෙන අනිත් නගරවලට වඩා වැඩියෙන් ක්‍රිස්තියානීන් හිටියේ නාගසාකිවලයි කියා ජපානයේ සිටින ඇතමෙක් පැවසිය හැකියි. නමුත් රෝගියා, වෛද්‍යවරයාගේ මඟ පෙන්වීම අනුගමනය කිරීමට අසමත් වෙනවා නම්, රෝගියාගේ අසනීපයට ඔබට වෛද්‍යවරයාට දොස් කියන්න පුළුවන්ද? ක්‍රිස්තියානීන්යයි කියාගන්නාවූ බොහෝදෙනෙක් මනුෂ්‍යවර්ගයාගේ ප්‍රශ්න ගැටලු ජයගැනීම සඳහා තිබෙන යේසුගේ උපදෙස් නමැති බෙහෙත් වට්ටෝරුව දිගු කාලයක සිට නොසලකා හැර තිබෙනවා. එනමුත් අපේ එදිනෙදා ප්‍රශ්න ගැටලුවලට වගේම ලොව මුළුල්ලේ සිටින මනුෂ්‍යවර්ගයාගේ පීඩා සඳහාත් පිළියම යේසු දුන්නා. ඒ නිසයි අප ඔබට ඊළඟ ලිපිය කියවා ඔහු කෙබඳු මනුෂ්‍යයෙක් වුණාද කියා බලන මෙන් ආරාධනා කරන්නේ.