අපට කෙතරම් කල් ජීවත් විය හැකිද?
සාමාන්‍යයෙන් ජනයා දිගු කලක් ජීවත් වන නිසා, බොහෝදෙනෙකුට මෙසේ කල්පනා කිරීමට එය හේතුවක් වෙනවා, ‘අපට කෙතරම් කල් ජීවත් විය හැකිද?’
නව බ්‍රිටෑනිකා විශ්වකෝෂයට (1995) (ඉංග්‍රීසියෙන්) අනුව, අතීතයේදී, වඩාත්ම දිගු කලක් ජීවත් වුණේ පියෙර් ෂුබ්යෑ කියා පිළිගනු ලැබුවා. වයස 113ක්ව සිටි ඔහු 1814දී මියගියා. වෙනත් අය ඊට වඩා දිගු කලක් ජීවත් වූ බව පැවසෙන නමුත්, ඔවුන්ගේ වයස් මට්ටම් විශ්වාස කටයුතු ආකාරයකින් ලේඛනගත කර නැති බව සත්‍යයක්. කෙසේවෙතත්, පියෙර් ෂුබ්යෑට වඩා දිගු කලක් ජීවත් වූ බොහෝදෙනෙක් සිට ඇති බවට නිවැරදි ලේඛනගත කිරීමකින් ඔප්පු කර තිබෙනවා.
ශොන් ලුවීස් කල්මොන්, 1875 පෙබරවාරි 21වනදා ගිනිකොනදිග ප්‍රංශයේ ආලස්හි උපත ලැබුවා. වසර 122කට වැඩි කලකට පසුව 1997 අගෝස්තු 4වනදා සිදු වූ ඇගේ මරණය බෙහෙවින් ප්‍රසිද්ධ වුණා. වර්ෂ 1986දී ජපානයේ ෂිගේකියෝ ඉසූමි වයස 120දී මියගියා. එක්දාස්නවසිය අනූනවයේ ගිනස් වාර්තා පොත (ඉංග්‍රීසියෙන්) නම් පොත ලියූ සමයේදී ජීවත් වූ මහලුම පුද්ගලයා හැටියට සඳහන් වන්නේ 118-හැවිරිදි සාරා නාඌස්වයි. ඇය ඉපදුණේ අ.එ.ජ. පෙන්සිල්වේනියාවේදී, 1880 සැප්තැම්බර් 24වනදායි. කැනඩාවේ ක්වෙබෙක්හි විසූ මාරි-ලුවීස් ෆබ්රෝනි මෙයර් 1998 මියගිය අතර, වයස 118ක්ව සිටි ඇය සාරාට වඩා දවස් 26කින් වැඩිමල්ව සිටියා.
ඇත්තෙන්ම, ඉතා මහලු අයගේ සංඛ්‍යාව පුදුම විදිහට ඉහළ ගොස් තිබෙනවා. ගණන් බලා තිබෙන අන්දමට, ඊළඟ මුල් අඩ සියවස තුළදී අවුරුදු සියය පිරුණු තැනැත්තන්ගේ සංඛ්‍යාව මිලියන 2.2කට වඩා වැඩි වෙයි! එලෙසම, වයස අවුරුදු 80 සිටින අයගේ හා ඊට වැඩි අයගේ සංඛ්‍යාව 1970 සිටි මිලියන 26.7 සිට 1998දී මිලියන 66ක් දක්වා වැඩි වුණා. මුළු ලෝක ජනගහනය සඳහා වැඩි වන සියයට 60 සමඟ සසඳද්දී එය සියයට 147ක වැඩිවීමක්.
එමෙන්ම ජනයා වඩාත් වැඩි කලක් ජීවත් වන්නේ නිකම් ඔහේ ජීවත් වෙමින් නොවෙයි. බොහෝදෙනෙක් 20-හැවිරිදි අයගෙන් වැඩිදෙනෙකුට ඉටු කරන්න බැරි දේවලුත් කරමින් ඉන්නවා. වර්ෂ 1990දී 82-හැවිරිදි ජොන් කෙලි පැය පහයි විනාඩි පහකින් කිලෝමීටර් 42.195ක මැරතන් ධාවනයක් අවසන් කළා. වර්ෂ 1991දී, 84-හැවිරිදි ආච්චි කෙනෙක් වූ මේවිස් ලින්ග්‍රන් පැය හතයි විනාඩි නවයකින් එම දුර ප්‍රමාණයම පියෙව්වා. ඊටත් වඩා මෑතකදී, 91-හැවිරිදි මහලු පුරුෂයෙක් නියූ යෝක් නගරයේ මැරතන් ධාවනයක් අවසන් කළා.
මෙසේ පවසන්නේ අතීතයේ සිටි මහලු අය පුදුමාකාර වික්‍රමයන් නොකළ බව පැවසීමට නොවෙයි. බයිබලයේ සඳහන් කුලදෙටු ආබ්‍රහම් වයස 99දී, තමාව බැහැදකින්න ආ අමුත්තන්ව ‘සම්මුඛ වන පිණිස දිවගියා.’ වයස අවුරුදු 85දී කාලෙබ් මෙසේ ප්‍රකාශ කළා: “යුද්ධ කරන්ටත් පිටතට යන්ටත් ඇතුළට එන්ටත් මාගේ ශක්තිය ඒ කාලයේ [අවුරුදු 45කට ඉහතදී] තිබුණාක් මෙන්ම දැනුත් තිබේ.” එමෙන්ම මෝසෙස්ට වයස 120ක්ව තිබියදීත් “ඔහුගේ ඇස් අඳුරුනොවීය, ඔහුගේ ස්වාභාවික ශක්තියද අඩු නොවීය” කියා බයිබලය මෝසෙස් ගැන පවසනවා.—උත්පත්ති 18:2; යෝෂුවා 14:10, 11; ද්විතීය කථාව 34:7.
මුල් මනුෂ්‍යයා වූ ආදම් හා නැව සෑදූ නෝවා ඓතිහාසික පුද්ගලයන්ය කියා යේසුස් ක්‍රිස්තුස් පැවසුවා. (මතෙව් 19:4-6; 24:37-39) ආදම් 930ක් වන තෙක් මෙන්ම නෝවා 950ක් වන තෙක් ජීවත් වුණ බවට උත්පත්ති පොත පවසනවා. (උත්පත්ති 5:5; 9:29) ඇත්තෙන්ම ජනයා එතරම් දිගු කලක් ජීවත් වී තිබෙනවාද? ඊටත් වඩා, සමහරවිට සදාකාලයටම අපට ජීවත් විය හැකිද? කරුණාකර ඊළඟ ලිපියෙන් ඊට සාක්ෂි සෝදිසි කර බලන්න.