“එතැන සාමය තිබුණ බව මට හොඳින් දැනුණා”
ජර්මන් භාෂාව කතා කරන එක් තැනැත්තෙක් සාක්ෂිකරුවන්ගේ “වැරදි” සෙවීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් සංවිධානය කරනු ලැබූ සමුළුවකට ගියා. හේතුව? ඔහුගේ ඉලක්කය වුණේ “ඔහුගේ මිත්රයන්ව නොමඟ යෑමෙන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම නිකායේ වැරදි හෙළි කිරීමටයි.” සමුළුවට යෑමෙන් පසු, ඔහු තම මිත්‍රයන්ට මතු දැක්වෙන ලිපිය ලිව්වා:
“සමුළු භූමියට ළං වෙද්දී, මේකද හරි තැන කියලා මම කල්පනා කළා. කිසි කෙනෙක් පේන්න හිටියේ නැහැ. බිම කොළ කෑලිවත්, බියර් කෑන්වත් තිබුණේ නැහැ. මම එතැනට ගියහම, ක්‍රීඩාංගණ දොරටුව ළඟ මහත්වරු දෙන්නෙක් ඉන්නවා දැක්කා. ඔවුන් මාව පිළි අරං, ඇතුලට යන්න අවසර දුන්නා.
“මම හිතුවේ එහි ඇවිත් ඇති දහස් ගණන්දෙනෙක්ගේ කෑකෝගැහිල්ලක් මට ඇහෙයි කියලයි; ඒත් සෑහෙන නිශ්ශබ්දතාවක් තිබුණා. ‘ම් . . . , සමහරවිට, ටිකදෙනෙක් තැනින් තැන ඉන්නවා ඇති’ කියලා මම හිතුවා.
“මම ඇතුල් වෙන කොට එකපාරටම මගේ අවධානය වේදිකාවේ රඟන නාට්‍යයක් දෙසට යොමු වුණා. ඉතා ඕනෑකමින් ඇහුම්කන් දීගෙන හිටිය දහස් ගණනකින් ක්‍රීඩාංගණය පිරිලා තියෙන බව මට වැටහුණේ පස්සෙයි. එතැන සාමය තිබුණ බව මට හොඳින් දැනුණා. සමුළුවේ ඉතිරි කාලයේදී මට ඇහුණ දේ, හැඟුණ දේ හා මම දැක්ක දේ මට ගැඹුරින් කාවැදුණා.
“සාක්ෂිකරුවන් එක්ක ගැවසෙද්දී, ඔවුන්ගේ සිනා මුසු මුහුණවල් දැක්කා; ප්‍රේමනීය කතා බහ ඇහුණා. එකපාරටම මට මේ වගේ හැඟීමක් ඇති වුණා, ‘ඇත්තටම මේගොල්ලෝ දෙවිගේ සෙනඟ තමයි!’”
‘ඔහුගේ මිතුරන්ව නොමඟ යෑමෙන් වළක්වනවා’ වෙනුවට, මේ තරුණයා තමා සමඟ බයිබල් පාඩමක් කරන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ප්‍රතිඵලය? අදදින, ඔහු ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් වී සිටීමයි. ඔහු සහ ඔහුගේ පවුලේ අය ස්විට්සර්ලන්තයේ, සූග්හි සභාවල ක්‍රියාශීලීව සිටිනවා.