‘දරුවෙක්ව පුහුණු කරන්න’
ඵලදායි බෝග වගාවක් සඳහා, නිකම්ම බීජ එහෙ මෙහෙ විසුරුවා හැරලා මාස කිහිපයකට පසුව එහි අස්වැන්න නෙළාගන්න යෑමට වඩා වැඩි යමක් අවශ්‍ය කරවයි. ඒ සඳහා සෑහෙන වෙහෙස මහන්සි වීමට සිදු වෙනවා. පස සකස් කිරීම, බීජ වැපිරීම මෙන්ම හටගන්නා පැළෑටි වැඩෙන තෙක් ඒවාට වතුර වත් කිරීම සහ සාත්තු කිරීම ආදිය මීට ඇතුළත්.
මෙම නිදසුන, හිතෝපදේශ 22:6හි සත්‍යතාව හොඳින් තහවුරු කිරීම සඳහා යොදාගන්න පුළුවන්. එහි මෙසේ සඳහන් වෙනවා: ‘දරුවෙක්ව සුදුසු මාර්ගයෙහි පුහුණු කරන්න. එවිට ඔහු වයස්ගත වූ කලත් එයින් අහක්ව නොයන්නේය.’ සැබවින්ම, දරුවන්ව සාර්ථක ලෙස ඇති දැඩි කිරීමට නම් දෙමව්පියන් විසින් ඔවුන්ට පුහුණුවක් ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා.
කොහොමවුණත්, අදදින ලිහිල් ප්‍රතිපත්ති දරමින් සිටින මේ ලෝකයේ බොහෝ දෙමව්පියන්, මෙම උපදෙස්වලට අවනත වන්නේ නැහැ. දරුවන් තම ගැටලු තනියෙන් විසඳගැනීමට ඉගෙනගත යුතුයි යන සම්මත ආකල්පයට එකඟව ඔවුන් කටයුතු කරන විට, දරුවන් කිසි හව්හරණක් නැති තත්වයකට පත් වෙනවා. මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම හේතුවෙන්, කිසිම ප්‍රතිපත්තියක් නැති දුරාචාරමය පුද්ගලයන්ගේ හානිකර බලපෑම්වලට යෞවනයන්ව පහසුවෙන් ගොදුරු විය හැකියි.—හිතෝපදේශ 13:20.
බාල අවදියේ පටන්ම දේවභක්තික පුහුණුවක් ලබා දීම මගින් තම දරුවන් තුළ ක්‍රිස්තියානි ප්‍රතිපත්ති පැලපදියම් කිරීම ඊට වඩා මොනතරම් යහපත්ද! මෙය කරන්නේ කොයි වයසේ සිටද? “ළදරු වියේ සිට” කියා ප්‍රේරිත පාවුල් සඳහන් කරනවා. යෞවන තිමෝති සම්බන්ධයෙන්ද මෙය සැබෑවක් වුණා. ඔහුගේ මව වූ එවුනීකි සහ ආච්චි වූ ලොයිස් ඔහුගේ හෘදය තුළට “ශුද්ධ ලියවිලි” කාවැද්දුවා. එමනිසා ඔහු “ඉගෙනගත්” අතර “අදහාගැනීම පිණිස” ඔහුව “පොලඹවනු ලැබුවා.” එහි ප්‍රතිඵලය? “ගැළවීම පිණිස” ඔහුව “නැණවත්” කිරීම සඳහා එම පුහුණුව වැදගත් කාර්යභාරයක් ඉටු කළා.—2 තිමෝති 1:5; 3:14, 15, NW.
අදදින ඒ හා සමානව ‘යහපත්කම් කිරීමට මැළි නොවෙන’ දෙමව්පියන්, ‘ක්ලාන්ත නොවන්නේ නම්’ මහත් විපාක අත් කරගනියි. (ගලාති 6:9) ප්‍රඥාවන්ත සාලමොන් රජ පවසන ආකාරයට, “ධර්මිෂ්ඨයාගේ පියා සැබවින්ම ප්‍රීතිමත් වන්නේය.”—හිතෝපදේශ 23:24, NW.