රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
අතීත එදිරිවාදියෙක් සත්‍යය උගනියි
ලයිබීරියාවේ ඇති සිවිල් යුද්ධය ගැන බොහෝ දේ අසන්න ලැබී තිබේ. දසදහස් ගණනකට තම ජීවිත අහිමි වූ අතර, ඊට වඩා වැඩි තවත් ගණනකට උන්හිටි තැන් අහිමි විය. මතු දැක්වෙන අද්දැකීමෙන් පෙනී යන පරිදි, මේ සියල්ල මෙසේ තිබියදී අවංක හදවත් ඇති මිනිසුන් දිගටම සත්‍යය වැලඳගනිමින් සිටියි.
ජේම්ස් වයස අවුරුදු දහයේ සිට ලූතරන් පල්ලියෙනුයි අධ්‍යාපනය ලැබුවේ. පල්ලියේ පුවත්පතක සංස්කාරක තනතුර ලැබීමෙන් පසු, ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව ලිපි ලිවීමට තම බලය යොදාගත්තා. කෙසේවුවත්, මෙවැන්නක් ලිව්වේ සාක්ෂිකරුවන්ගෙන් කිසිම කෙනෙකුව කවදාවත් මුණගැසී නොතිබෙද්දීයි.
කාලයත් සමඟ, ජේම්ස් පල්ලියේ පුවත්පත් කලාව අතහැර සාර්ථක තානායම් අයිතිකරුවෙක් වුණා. එක් දිනෙක ඔහු පිළිගැනීමේ ශාලාවේ වාඩි වී සිට අවස්ථාවක, හොඳින් ඇඳ පැළඳ සිටි සහෝදරියන් දෙදෙනෙක් ඔහුව මුණගැසීමට ආවා. ඔවුන්ගේ පිළිවෙළකින් යුත් ලීලාව දැක ඔහු ඔවුන්ට ඇතුලට ආරාධනා කළා. නමුත් ඔවුන් පැමිණි අරමුණ පැහැදිලි කළ විට, ඔහු මෙසේ පැවසුවා: “මට කතා කරන්න වෙලාවක් නැහැ.” සාක්ෂිකරුවන් ඔහුට මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල දායක ඉදිරිපත් කළ අතර, ඔවුන්ව ඉක්මනින් යවාගැනීමට වුවමනා වූ නිසා පමණක් ඒවා පිළිගත්තා. මාස 12ක් තිස්සේ ඔහුගේ නිවසට සඟරා පැමිණියද, අඩුම තරමේ ඒවායේ අසුරනවත් නොගළවා ඔහු ඒවා ප්ලාස්ටික් මල්ලකට දැම්මා.
සිවිල් යුද්ධයේ උණුසුම වැඩි වෙමින් තිබූ නිසා, ප්රහාරයක ලකුණු දිස් වූ සැණින් පලා යෑමට ඔහු තම වටිනා දේවල් හා මුදල් මල්ලක තැන්පත් කළා. එක් උදෑසනක, ඔහුගේ පිටුපස දොර ළඟම අත් බෝම්බයක් පිපිරුණු අතර, කලබලයට ඔහු මල්ලත් රැගෙන පණ බේරාගන්න දිව්වා. පලායමින් සිටි තවත් දහස් ගණනකට එකතු වූ ජේම්ස්ව, මුරපොළවල් ගණනාවකින් පරීක්ෂාවට ලක් කෙරුණා. එහිදී, අහිංසක පුරවැසියන් සොරකමට ලක් වූ අතර, නිකරුණේ මරා දමනු ලැබුවා.
පළමු මුරපොළේදී, ජේම්ස්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසා ඔහුගේ මල්ල අරින ලෙසට පැවසුවා. එසේ කළ විට ඔහු දුටුවේ තම දෑස් අදහාගත නොහැකි දෙයක්. ඔහුගේ පුදුමයට, තමා රැගෙනවිත් ඇත්තේ වටිනා දෑ ඇතුළත් මල්ල නොවන බව ඔහුට වැටහුණා. කලබල වූ අවස්ථාවේදී, ඔහු අතට ගෙන ඇත්තේ අසුරනවත් නොගැළවූ මුරටැඹ හා පිබිදෙව්! සඟරා ඇතුළත් මල්ලයි. කොහොම වුණත්, හමුදා භටයා සඟරා දැක ඒවායේ ලේබල්වල තිබූ ඔහුගේ නම කියවූ පසු, මෙසේ පැවසුවා: “ආ, ඔයා යෙහෝවාගේ සාක්ෂිකාරයෙක් නේද? අපිට ඕනෙ ඕගොල්ලන්ව නෙවෙයි, අපි දන්නවා ඕගොල්ලන් බොරු කියන්නෙ නැහැ කියලා.” සඟරා කිහිපයක් ඔහුගේ මල්ලෙන් ගත් පසු, හමුදා භටයා ජේම්ස්ට යන්න ඉඩ දුන්නා.
ජේම්ස් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙකැයි විශ්වාස කළ සියලුම හමුදාපතිවරුන් කිසිම හානියක් නොකොට ඔහුට යන්න ඉඩ දුන් නිසා, තවත් මුරපොළවල් නවයකම සිදු වුණේ මේ දෙයමයි. දැන් ජේම්ස් සතුටු වුණා තමා වටිනා දේවල් නොගෙන ආ එක ගැන; මන්දයත් ඔහු දුටු දේට අනුව ඔහු සතු දේවල් නිසා ඔහුගේ ජීවිතයද අහිමි වෙන්න ඉඩ තිබුණා.
ඔහු අන්තිමට අවසාන මෙන්ම භයානකම මුරපොළට ළඟා වූ විට මළ මිනි ගණනාවක් බිම තිබෙනවා දැක ඔහු භයෙන් තැතිගත්තා. භයෙන් වෙළුණු ඔහු යෙහෝවාගේ නම කියා හඬ ගැසුවා. මෙම මරණ මිටියාවතෙන් ඔහුව ගළවාගත්තොත්, දෙවිට තම ජීවිතාන්තය දක්වා සේවය කරනවාය කියා ඔහු දෙවිට යාච්ඤා කළා.
ජේම්ස් තම මල්ල භටයන්ට දුන් අතර, නැවතත් මෙසේ කියනවා අසන්න ලැබුණා: “අපි හොයන්නේ මේගොල්ලන්ව නෙවෙයි.” ඔහු දෙසට හැරී, තවදුරටත් ඔවුන් මෙසේ පැවසුවා: “ඕගොල්ලන්ගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් ඉන්නේ අර කන්දේ පාමුල. ගිහිල්ලා එයත් එක්ක හිටයා නං හොඳයි.” මේ වන විට, සාක්ෂිකරුවන් පිළිබඳව ජේම්ස්ට තිබූ මතය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබුණා. ඔහු ඉක්මනින්ම සහෝදරයාව මුණගැසුණු අතර, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැකa යන පොතෙන් බයිබල් පාඩමක් කිරීමට ඔහු කටයුතු සැලසුම් කළා.
දින කිහිපයකට පසු, ඇති වූ ප්‍රහාරයක් නිසා ඔහුට එම ප්‍රදේශයෙන් පලා යන්න සිදු වුණා. මේ වතාවේදී නම්, ජේම්ස් කැලයට පැන ගියේ සදා ජීවනය පොත පමණක් අතේ තද කරගනිමිනුයි! සාක්ෂිකරුවන්ගෙන් වෙන්ව සිටි මාස 11 තුළ ඔහු තම පොත පස් වතාවක් අධ්‍යයනය කළා. අන්තිමට ඔහුට නගරයට යළි පැමිණීමට හැකි වූ විට, ඔහු සාක්ෂිකරුවන් සමඟ පාඩම නැවත ආරම්භ කළ අතර ඉක්මනින් ප්‍රගතිය ලැබුවා. කෙටි කලකට පසු ජේම්ස් බව්තීස්ම වූ අතර, දැන් ඔහු තම ආත්මික සහෝදරයන් සමඟ ඇදහිලිවන්තව සේවය කරමින් සිටියි.
[පාදසටහන]
a Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිතයි.