ජීවනයට යන මඟෙහි සංඥා පුවරු
ඔබ නුහුරු නුපුරුදු පාරක හෝ මාවතක ඇවිදිමින් සිටී නම්, සංඥා පුවරු බාධාවක් හැටියටද ඔබ සලකන්නේ? කොහෙත්ම නැහැ! ඔබේ ගමනාන්තයට මඟ පෙන්වන පාරෙන් පිට පැනීමෙන් වැළකීමට උපකාර කරන ආධාරකයක් හැටියට ඔබ ඒවා සලකනු ඇති බවට ස්ථිරයි.
එහෙත්, ජීවනයට යන මඟෙහි ගමන් කිරීම ගැන කුමක් කිව හැකිද? සංඥා පුවරු නොමැතිව එය සාර්ථක ගමනක් කරගත හැකි වෙයිද? මේ සම්බන්ධයෙන් මනුෂ්‍යවර්ගයාට සීමාවන් තිබෙන බව දෙවිගේ පුරාණ ප්‍රොපේතවරයෙක් පිළිගත්තා. ඔහු මෙසේ පැවසුවා: “[යෙහෝවා], මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.”—යෙරෙමියා 10:23.
එසේනම්, අවශ්‍ය මඟ පෙන්වීම සොයාගත හැක්කේ කොතැනින්ද? එවැනි මඟ පෙන්වීමකට විශ්වාසවන්ත උල්පත මැවුම්කරුවා වන අතර, උපමාලංකාර සංඥා පුවරු තිබෙන්නේ බයිබලයෙයි. යෙහෝවා ස්වකීය වචනය තුළින් මෙසේ පවසනවා: “නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද: මාර්ගය මේය, මෙහි හැසිරෙන්නැයි [ඇවිදින්නැයි, NW] නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත.”—යෙසායා 30:21.
ඔව්, අපේ ජීවිතයේ සෑම අංගයක් සම්බන්ධයෙන්ම දේවවචනය විශ්වාසවන්ත මඟ පෙන්වීමක් දෙනවා. (යෙසායා 48:17; 2 තිමෝති 3:16) කෙසේවුවත් කනගාටුවට කරුණක් නම්, මනුෂ්‍යවර්ගයාගෙන් වැඩිදෙනෙක් දිව්‍යමය මඟ පෙන්වීම නොසලකා ස්වාධීන මාවතක ගමන් කරමින් සිටීමයි. (මතෙව් 7:13) තවමත්, සංඥා පුවරු නොවෙනස්ව පිහිටෙවූ ආකාරයටම පවතී! ඔබ ජීවනයට යන මඟෙහි ගමන් කරද්දී ඒවාට අවනත වෙනවාද?