රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් නොවළකින්න
යුරෝපියානු ගවේෂකයන් වෙනිසුවෙලා බොක්ක හා මරකයිබෝ විල බලන්න මුලින්ම ගිය අවස්ථාවේදී, නොගැඹුරු ජලයෙහි පොලු මත ගොඩ නඟා තිබූ පිදුරු සෙවිල්ලූ කුඩා පැල්පත්වලින් එහි මුහුදු තීරය හා විල් තෙර පිරී තිබුණා. එම දර්ශනය, ජනයා ජල තීරයේ අද්දර තම ගෙවල් ගොඩනඟා තිබෙන ඉතාලියේ වැනිසියට සමානයි. මෙනිසා ස්පාඤ්ඤ භාෂාව කතා කරන ගවේෂකයන් එම ප්‍රදේශය නම් කළේ “කුඩා වැනිසිය” යන අර්ථය ඇති වෙනිසුවෙලා ලෙසයි.
අදදින, මේ මනහර රටේ තවත් ආකාරයක ගොඩනැඟීමේ වැඩක්, එනම් ආත්මික වැඩක් කෙරීගෙන යනවා. එහි යෙහෝවාගේ සාක්ෂිකරුවන් සෑම යෝග්‍ය අවස්ථාවකදීම රාජ්‍ය බීජ වැපිරීමෙහි කාර්ය බහුලව සිටිනවා. ප්‍රතිඵලයක් වශයෙන් ඇති වන ආත්මික අස්වැන්න, “ගොයමේ ස්වාමියා” වන යෙහෝවා දෙවිට මහත් ප්‍රශංසාවක් ගෙන එනවා.—මතෙව් 9:37, 38.
වයඹදිග වෙනිසුවෙලාහි සූල්ය නම් ජනපදයෙහි සභාවකට සංචාරක අවේක්ෂකයෙක් ගිය අවස්ථාවේදී, එහි සහෝදරයන් එම ජනපදයට කිට්ටුවෙන් පිහිටි ටෝආස් නම් කුඩා දූපතකට යෑම සඳහා ඔහුට හා ඔහුගේ භාර්යාවට කටයුතු පිළියෙළ කළා. හිමිදිරි උදෑසනම එම දූපතට යන්න බෝට්ටුවකට නැඟීමට බලා සිටිද්දී, බෝට්ටුවේ වැඩ කරන සේවකයන් කීපදෙනෙකුට කතා කරමු කියා, සංචාරක අවේක්ෂකගේ භාර්යාව වූ මෙරි ඇගේ සහකාරිය වූ පූර්ණ-කාලීන පුරෝගාමී සහෝදරියට යෝජනා කළා. පුරෝගාමී සහෝදරිය එකඟ වුණා.
කාර්මික ශිල්පියෙකු වෙත ගිය මෙරි ඔහුට සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොත ඉදිරිපත් කළා. “දෙවිට ගරු කරන පවුලක් ගොඩනැංවීම” යන පරිච්ඡේදය ඇය ඔහුට පෙන්වූ අතර, එයට ඔහු උනන්දුවක් දැක්වූ බව පෙනෙන්න තිබුණා. මේ පොත පාවිච්චි කරමින් ඔහුගේම නිවසේදී ඔහුට බයිබල් පාඩමක් කළ හැකි බව මෙරි එවිට පැහැදිලි කළා. ඔහු පොත ලබාගත් අතර, ඔහුගේ නිවසට කෙනෙකුව යැවීමට කටයුතු පිළියෙළ කළා.
ඊට ටික කලකට පසු, එම පළාතේ විශේෂ එක්-දින එක්රැස්වීමක් පැවැත්වුවා. කාර්මික ශිල්පියා වූ සෙනෝර් නාවා, ඔහුගේ භාර්යාව හා තරුණ දියණියන් දෙදෙනා සමඟ එහි පැමිණ සිටිනවා දැකීම මෙරිට මොනතරම් පුදුමයක්ද! ඔවුන්ගේ පවුලේ බයිබල් පාඩම ගැන සිතන්නේ මොකක්ද කියා මෙරි භාර්යාවගෙන් විමසුවා. ඇය දුන්නේ අදහගන්න බැරි උත්තරයක්.
“අපිට සත්‍යය ඉගෙනගන්න ලැබුණ එක ගැන මම යෙහෝවාට ස්තුති කරනවා” යයි ඇය පැවසුවා. එවිට ඇය මෙසේ පැහැදිලි කළා. “ඔයා මගේ මහත්තයාට කතා කරන කොට එයා මාව දාලා ගිහින් වෙන ගෑනියෙක් එක්කයි හිටියේ. එයා හුඟක් බිව්වා. සමහර වෙලාවට එයා බීලා ආවහම, බනිනවා, ගහනවා; මේ දූපතේ ඉන්න ටිකදෙනා ඒකට කැමති වුණේ නැහැ. එයා ආත්ම බන්ධන වැඩත් කළා. කොහොමවුණත්, පාඩමෙන් එයාට ලැබුණු බයිබල් දැනුම එයාගේ ජීවිතයේ ලොකු වෙනස්කමක් කරන්න එයාට උදව් වෙලා තියෙනවා. එයා නරක පුරුදු ඔක්කොම නවත්වලා දැම්මා. එයාගේ දෙමාපියන් කතෝලිකයෝ; එයාගේ මේ වෙනස්කම් දැකලා ඒගොල්ලන්ගේ සිත් ඇදී ගියා. එයා දැන් වගකීමක් ඇති ස්වාමිපුරුෂයෙක් වගේම පියෙක් වෙලා ඉන්න එක ගැන ඔවුන් සතුටු වෙනවා.”
සෙනෝර් නාවා 1996දී බව්තීස්ම වූ අතර, දැන් පූර්ණ-කාලීන දේවසේවකයෙකු හැටියට සේවය කරනවා. ඔහුගේ භාර්යාව වූ ජෙනී 1997දී බව්තීස්ම වුණා. මේ බෝට්ටු කාර්මික ශිල්පියාගේ වෙනස් වීම දැකලා නගරාධිපතිගේ සිත මොනතරම් ඇදී ගියාද කියනවා නම් ඔහුත් බයිබල් පාඩමක් ඉල්ලා සිටියා. ඒ උදෑසන බෝට්ටුව එන තෙක් බලා සිටින අතරේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් නොවැළකුණ නිසා සහෝදරියන් කොයිතරම් ප්‍රීති වුණාද!
[7වන පිටුවේ පින්තූර]
බෝට්ටු කාර්මික ශිල්පියෙකු සමඟ ශුභාරංචිය බෙදාගැනීම සතුටුදායක ප්‍රතිඵල ගෙන ආවා