රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
සෑම ප්‍රස්තාවක්ම යොදාගැනීම
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බයිබල් අධ්‍යාපනික වැඩය සම්බන්ධයෙන් ඔවුන් ලොව පුරා ප්‍රසිද්ධ වී සිටිනවා. ඒ හැර ඔවුන් සමාජයට වෙනත් ප්‍රයෝජන ලබා දෙන වැඩසටහන්ද දියත් කරනවා. ඉක්වදෝරයෙන් ලැබෙන මතු දැක්වෙන අද්දැකීම්වලින් පැහැදිලි වන්නාක් මෙන් මේ පොදු ජන සේවයට හොඳ පිළිගැනීමක් ලැබී තිබෙනවා.
◻ තම සේවකයන් වෙනුවෙන් පවුලේ සාරධර්ම නමැති විෂය යටතේ දේශනයක් සංවිධානය කරන්න විශාල වීදුරු කර්මාන්ත ශාලාවක කළමනාකාරිත්වයට අවශ්‍ය වුණා. මිනිස් සම්පත් භාර අධ්‍යක්ෂක එයට සහභාගි වීමට කතෝලික පූජකයන් කිහිපදෙනෙකුට ආරාධනා කළත් එයට කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මේ විෂය ගැන කතාවක් කරන්න සුදුසුකම් ලත් පූජකයන් සිටින්නේ මොනතරම් අල්ප ප්‍රමාණයක්ද කිව්වොත්, සුදුසුකම් තියෙන කෙනෙක් එවන්න විදිහක් නැහැ කියා එක් පූජකයෙක් ඔහුට කිව්වා. මෙය දැනගන්න ලැබුණු රැකියාවේ නිරත වන එක් සාක්ෂිකාරියක් ව්‍යාපාරික බලප්‍රදේශවල නිතර සේවය කරන සහෝදරයෙකුට ඒ කර්මාන්ත ශාලාව බැහැදැකීමට කටයුතු පිළියෙළ කළා.
පසු දිනම, මේ සාක්ෂිකරුවා දේශනය සඳහා යෝජිත විෂය මාලාව සමඟින් මිනිස් සම්පත් භාර අධ්‍යක්ෂකව හමු වෙන්න ගියා. වොච් ටවර් සමිතියේ විවිධ ප්‍රකාශනවලින් විෂයන් ලැයිස්තුවක් තෝරාගත්තා. අධ්‍යක්ෂකගේ සිත ඇදී ගියා. ඔහු සාකච්ඡා කිරීම සඳහා මාතෘකා තුනක්—මිනිස් සබඳතා, සේවා ස්ථානයේ ආචාර ධර්ම හා පවුල තුළ ආචාර ධර්ම—තෝරාගත්තා. පසුව සියලුම සේවකයන් සමඟ ඒ තොරතුරු සලකාබැලීමට කටයුතු පිළියෙළ කළා.
එක් කණ්ඩායමකට 30දෙනෙකු අයත් වන සේ සේවකයන්ව කණ්ඩායම්වලට බෙදීමෙන් පසු, සුදුසුකම් ලත් සහෝදරයන් තිදෙනෙක් ඒ තොරතුරු ඔවුන්ට ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵල වුණේ කුමක්ද? තමන්ගේ නිවෙස්වලදී හමු වන්න කියා සේවකයන් විශාල පිරිසක් ඉල්ලා සිටි අතර, බයිබල් පාඩම් ආධාරක පොත් 216ක් බෙදාහැරියා. කළමනාකාරිත්වය තුළ මොනතරම් පැහැදීමක් ඇති වුණාද කියනවා නම් තවත් දේශන මාලාවක් සූදානම් කරන්න පුළුවන්ද කියා සාක්ෂිකරුවන්ගෙන් ඇසුවා.
◻ මෑතකදී, පාසැල්වල ආගම ඉගැන්වීමට ඉඩ සලසා දෙන නීතියක් ඉක්වදෝරයේ සම්මත වුණා. මිෂනාරි සහෝදරියක් ප්‍රාථමික පාසැලක පාලිකාව හමු වී අලුත් නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන විමසුවා. මරිය වන්දනාව හා සම්බන්ධ වැඩසටහනක් ආරම්භ කරන්න උත්සාහ කළත් එයින් ඵලක් වුණේ නැහැ කියා පාලිකාව පැහැදිලි කළා. එවැනි නමස්කාරයක් මගින් කතෝලික නොවන දරුවන්ට ගැටලු ඇති කරන්න පුළුවන් කියා සහෝදරිය පැවසූ අවස්ථාවේදී පාලිකාව එයට එකඟ වුණා. “ඒ කොහොමවුණත් යම් ආගමක් පිළිගැනීමට පුද්ගලයෙකුට බල නොකරන, බයිබලයේ තියෙන සදාචාරාත්මක ප්‍රතිපත්ති ඉගැන්වීමේ වැඩසටහනක් අපි ළඟ තිබෙනවා” කියා මිෂනාරිවරිය පැවසුවා. පාලිකාව මෙසේ උත්තර දුන්නා: “ඔයාට එන්න පුළුවන් කවදද? අනිද්දා පුළුවන්ද?” උතුම් ගුරුවරයාට සවන් දීම (ඉංග්‍රීසියෙන්) නමැති පොත මිෂනාරිවරිය ඈට පෙන්වීමෙන් පසු, “සාමයට ලැදි අය සන්තෝෂවත්ය” යන පරිච්ඡේදය සලකා බලන්න එකඟ වුණා.
මිෂනාරිවරිය නැවත පැමිණ විවිධ පන්ති කාමර හතක් බැහැදැකීමට පැය තුනක් ගත කළා; පාලිකාවද ඒ සැම එකකදීම සවන් දුන්නා. පස්වන ශ්‍රේණියේ පන්තියක පැවැත්වූ සැසිවාරයකට පසු එක් ශිෂ්‍යයෙක් මෙසේ පැවසුවා: “මිස්, කරුණාකරල හයවන ශ්‍රේණියටත් යන්න. ඒගොල්ලෝ හැම තිස්සේම අපිට ගහල රණ්ඩුවකට පටලවාගන්න හදනවා.” ගුරුවරියක් මෙසේ අදහස් දැක්වුවා: “සාහසිකකම හරිම වැදගත් මාතෘකාවක්. මේ කාරණය ගැන සාකච්ඡා කරන්න අපිට තව කාලය ඕනෙ.”
කීකරුකම හා බොරුකීම වැනි තේමාවන් යටතේ සාකච්ඡා කිරීම සඳහා නැවත පාසැලට යෑමට කටයුතු පිළියෙළ කළා. මේ වන තෙක් ප්‍රතිඵල සතුටුදායක තත්වයක පවතිනවා. මිෂනාරිවරිය වීදියක් දිගේ ගමන් කරන විට ළමයි දුවගෙන ඇවිත් ඈට ආචාරකොට බයිබල් ප්‍රශ්න අසනවා. තවත් අය ඇයව තමන්ගේ දෙමාපියන්ට මහත් ආඩම්බරයෙන් හඳුන්වා දෙනවා. ඒ විතරක් නෙවෙයි පාසැල් ළමුන් දෙදෙනෙකු සමඟ නිවාස බයිබල් පාඩමක් පටන්ගෙන තිබෙනවා.