“ලබාගත හැකි හොඳම අන්තර් පේළි අලුත් ගිවිසුම එයයි”
ආචාර්ය ජේසන් බෙඩූන්, ග්‍රීක් ලියවිල්ලෙහි අන්තර් පේළි රාජ්‍ය පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) විස්තර කරන්නේ ඒ ආකාරයෙන්. ඔහු මෙසේ පැහැදිලි කරයි:
“මම [අ.එ.ජ.], බ්ලූමිංටන්, ඉන්ඩියානා විශ්වවිද්‍යාලයේ ආගමික අධ්‍යාපනික අංශයට පාඨමාලාවක් උගන්වා අවසන් වුණා විතරයි, . . . මේක මූලික වශයෙන් සුවිශේෂ සම්බන්ධ පාඨමාලාවක්. ඔබේ උපකාරය ලැබුණේ ග්‍රීක් ලියවිල්ලෙහි අන්තර් පේළි රාජ්‍ය පරිවර්තනය යන පිටපත්වලින්; මගේ ශිෂ්‍යයන් පංතියේ පාඩම් පොත්වලින් එකක් හැටියට ඒක පාවිච්චි කළා. මේ කුඩා වෙළුම්, පාඨමාලාව සඳහා මිල කළ නොහැක්කක් වූ අතර මගේ ශිෂ්‍යයන් අතර ඒක ඉතා ජනප්‍රිය වුණා.”
ආචාර්ය බෙඩූන් ඔහුගේ විද්‍යාල පාඨමාලාවලට අන්තර් පේළි රාජ්‍ය පරිවර්තනය යොදාගන්නේ ඇයි? ඔහු මෙසේ පිළිතුරු දෙයි: “සරලව කියනවා නම්, ලබාගත හැකි හොඳම අන්තර් පේළි අලුත් ගිවිසුම එයයි. නවීන බයිබල් අධ්‍යයනයන්වලදී යොදාගන්න පාඨ හා උපකරණවලට හුරුපුරුදු මම බයිබලය ගැන පුහුණුවක් ලැබුව උගතෙක්; කොහොමනමුත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සාමාජිකයෙක් නම් නොවෙයි. නමුත් ප්රකාශනයක් දැක්ක ගමන් ඒකෙ ගුණය ගැන කියන්න මම දන්නවා; ඔබේ ‘නව ලෝක බයිබල් පරිවර්තන කමිටුව’ ඔවුන් සතු කාර්යය හොඳින් කරලා තියෙනවා. ග්‍රීක්-කතා කරන ලෝකය හා අප අතරේ තිබෙන භාෂාමය, සංස්කෘතිකමය හා මනෝභාවාත්මක පරතරයන් සම්බන්ධයෙන් පාඨකයාට එකඟත්වයකට පැමිණීමට බල කරනු ලබන තරමටම ඔබේ අන්තර් පේළි ඉංග්‍රීසි පිටපත නිවැරදි මෙන්ම ස්ථිර එකක්. ඔබේ ‘නව ලෝක පරිවර්තනය’ උසස් ගුණයෙන් යුත් මෙන්ම ග්රීක්වලට විශ්වාසවන්ත වෙමින්, සම්ප්‍රදායානුකූල බොරු අර්ථ දැක්වීමකින් වැළකෙන සත්‍ය පරිවර්තනයක්. එය, අදදින පාවිච්චියේ තිබෙන ඉතා සාර්ථක පරිවර්තනවලට වඩා බොහෝ ආකාරවලින් උසස්.”
යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ග්‍රීක් ලියවිල්ලෙහි අන්තර් පේළි රාජ්‍ය පරිවර්තනය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ දේවවචනයට ඇලුම් කරන්නන්ට බයිබලයේ මුල් ග්‍රීක් පිටපතට හුරුවීමට උපකාර කරන්නයි. එහි පිටුවේ වම් පැත්තේ මුල් ග්රීක්වල අලුත් ගිවිසුම (ඉංග්‍රීසියෙන්) අඩංගු වෙනවා (සම්පාදනය කළේ බී. එෆ්. වෙස්කෝට් සහ එෆ්. ජේ. ඒ. හෝර්ට් විසින්). සැබෑ අර්ථයෙන්ම වචනයෙන් වචනයට ඉංග්‍රීසි පරිවර්තනය ග්‍රීක් පාඨයේ පේළි යටින් තිබෙනවා. දකුණු පැත්තේ පටු තීරුවේ ශුද්ධ ලියවිලිවල නව ලෝක පරිවර්තනය (ඉංග්‍රීසියෙන්) තිබෙන අතර, අන්තර් පේළි පරිවර්තනය සමඟ බයිබලයේ නවීන ඉංග්‍රීසි පරිවර්තනය සසඳා බැලීමට එය ඔබට ඉඩ සලසයි.