දස පනත
තමන්ට අයත් පදවියේ සිටින පූජකයන්ගෙන් අඩකට වඩා වැඩිදෙනෙකුට දස පනත කටපාඩමෙන් කිව නොහැකි බවත්, එය බයිබලයේ සඳහන් වී තිබෙන තැන ඔවුන්ගෙන් සියයට 10දෙනෙකු දන්නේ නැති බවත් ග්ලොස්ට’හි එංගලන්ත බිෂොප්වරයෙක් හෙළි කළා. නමුත් එවැනි තත්වයක් පැවතියේ අවුරුදු 450කට කලින්. එදා පටන් මේ තත්වයෙහි දියුණුවක් වී තිබෙනවාද? මෑතකදී, සන්ඩේ ටයිම්ස් මගින් අහඹු ලෙස තෝරාගත් අය ඇසුරෙන් එංගලන්ත සභාවේ පූජකයන් පිළිබඳව කළ සමීක්ෂණයකින් අනාවරණය වූ දේවලට අනුව දියුණුවක් ඇති වී නැහැ.
සම්මුඛ සාකච්ඡාවට ලක් කළ පූජකයන් 200දෙනාගෙන් පනත් දහයම සඳහන් කිරීමට හැකි වූයේ, සියයට 34කට පමණයි. අනිත් අය අතුරින්, එක් කෙනෙකුට හැඟුණේ එමගින් තහනම් කර තිබෙන දේවල් වැඩි බවයි; ඒවා නවීන සදාචාරාත්මක අභියෝගවලට අදාළ නොවන ඒවා හැටියට තවත් කෙනෙක් එය බැහැර කළා.
ඔබ දස පනත දන්නවාද? එහෙම නැත්නම් ඒවා සොයාගත හැක්කේ කොතැනද කියා දන්නවාද? බයිබලයේ දෙවන පොත වන නික්මයාම පොතේ 20වන පරිච්ඡේදයේ මුල් ඡේද 17හි ඒවා වාර්තා වී තිබෙනවා. ඒවා කියවා බැලීම හොඳ අදහසක් නොවෙයිද? ඒවා කාණ්ඩ කිරීම සඳහා සරල මාර්ගයක් මෙන්න. පළමු සතර අපේ දෙවිට නමස්කාර කිරීම හා සම්බන්ධයි; පස්වැන්න පවුල් ජීවිතය විශේෂ කොට දක්වයි; හයවැන්නේ සිට නවවැන්න දක්වා තිබෙන ඒවා සෙසු ජනයා සමඟ අපේ සම්බන්ධතා සැලකිල්ලට භාජන කරන අතර, අපේම හදවත් සෝදිසි කර බැලීමට හා අපේ චේතනා පරීක්ෂා කර බැලීමට අපව පොලඹවන දහවැන්න විශිෂ්ට එකකි. මෙම ප්‍රතිපත්ති ක්‍රිස්තියානීන්ට අදාළ කරගත හැකි ආකාරය පිළිබඳ කෙටි සාරාංශයක් මෙන්න.
පළමුවැන්න: අපේ මැවුම්කරුට තනි භක්තිය දෙන්න. දෙවැන්න: නමස්කාරයේදී පිළිම භාවිත නොකරන්න. තුන්වැන්න: සැමවිටම දෙවිගේ නාමයට ගරු කරමින් එය උත්කෘෂ්ටවත් තත්වයක තබන්න. සතරවැන්න: සිත වෙනතකට නොයවා, ආත්මික කාරණා කෙරෙහි යොමු කර තබාගැනීමට කාලය ගන්න. පස්වැන්න: දරුවෙනි, ඔබේ දෙමාපියන්ට ගරු කරන්න. හයවැන්න: මිනී නොමරන්න. සත්වැන්න: කාමමිථ්‍යාචාරයෙන් වැළකී සිටින්න. අටවැන්න: සොරකම් නොකරන්න. නවවැන්න: සත්‍යය පවසන්න. දහවැන්න: තෘෂ්ණා පහ කර දමන්න.
දස පනත මෝසෙස්ට දුන් ව්‍යවස්ථා සංග්‍රහයේ කොටසක්ව තිබුණා. නමුත් ඒවායේ අන්තර්ගත මෙම ප්‍රතිපත්ති සැමදාටම අදාළ වෙනවා. (රෝම 6:14; කොලොස්සි 2:13, 14) මේ හේතුව නිසා, යේසුගේ අනුගාමිකයන් දස පනතෙන් උපුටා දැක්වුවා; එමෙන්ම එයට යොමු දැක්වීම්ද කළා. (රෝම 13:8-10) සියලුදෙනාම මෙම දිව්‍යානුභාවය ලත් ප්‍රතිපත්තිවලට ගරු කරමින් ඒවාට අනුකූලව ජීවත් වෙනවා නම්, අද ජීවිතය මොනතරම් සන්තෝෂවත්ද, ආරක්ෂා සහිතද!