“ගැඹුරු ජලය” ඇදගැනීම
බයිබල් හිතෝපදේශයක් මෙසේ සඳහන් කරයි: “මනුෂ්‍යයෙකුගේ සිතේ තිබෙන අදහස ගැඹුරු ජලය මෙන්ය; එහෙත් [විචාර බුද්ධිය, NW] ඇති මනුෂ්‍යයා එය ඇදගන්නේය.” (හිතෝපදේශ 20:5) අදදින බොහෝ දේශවලට වෙනස්ව බයිබල් කාලවලදී ජලය ලබාගැනීම වඩා කටුක දෙයක් වුණා. යේසුස් සමරිතානු ස්ත්‍රියට කතා කළ විට, ඇය යාකොබ්ගේ උල්පතෙන් මහත් ආයාසයක් දරමින් වතුර අදිමිනුයි සිටියේ. එම ළිඳේ ගැඹුර මීටර් 23ක්!—යොහන් 4:5-15.
හිතෝපදේශ 20:5 අඟවන අන්දමට, පුද්ගලයෙකුගේ හෘදයේ තැන්පත් වී ඇති ගැඹුරු සිතුවිලි සහ හැඟීම් අනාවරණය කරගැනීමට අවශ්‍ය විචාර බුද්ධිය, ළිඳකින් වතුර ඇදගැනීමට අවශ්‍ය වෑයමට සමානයි. මෙය ජීවිතයේ බොහෝ අංගයන් සම්බන්ධයෙන් සැබෑවක්. නිදසුනක් හැටියට, වසර ගණනාවක් පුරා දැනුම සහ අද්දැකීම් සම්භාරයක් රැස් කරගෙන ඇති පුද්ගලයන්ව ඔබ දන්නවා ඇති. ඔවුන් යමක් වෙනුවෙන් ස්වේච්ඡාවෙන්ම උපදෙස් දෙන්න නැඹුරු වන්නේ නැත්නම්, සමහරවිට ඔබට ඔවුන්ගෙන් ඒවා ඇදගැනීමට සිදු විය හැකියි. උනන්දුව පෙන්වීම, ප්‍රශ්න ඇසීම සහ උපායශීලී ලෙස සෝදිසියෙන් සිටීම, කටවචනයට කියනවා නම්, ප්‍රඥාවේ ගැඹුරු ළිඳකට ඔබේ බාල්දිය දමනවා හා සමානයි.
හිතෝපදේශ 20:5හි උපදේශය පවුලටත් ගැළපෙයි. බොහෝවිට, භාර්යාවන් මෙසේ කියනවා ඇසෙයි: “මගේ මහත්තයා එයාට හැඟෙන විදිහ කියන්නේ නෑ!” ස්වාමිපුරුෂයෙක් මෙසේ කිව හැකියි: “මගේ නෝනා ඉන්නෙ නිකං ගොළු වෙලා වගේ!” එවන් තත්වයන්වලදී, කලත්‍රයෙකුගේ හද පතුලේ තිබෙන සිතුවිලි ඇදගැනීමට විචාර බුද්ධිය අවශ්‍යයි. උපායශීලී ප්‍රශ්න (අද තිබිච්ච වැඩ අමාරුද? මොකද වුණේ? මට මොනවාද ඒ ගැන කරන්න පුළුවන්?) හදට-හද අදහස් හුවමාරුව සඳහා බොහෝවිට මුල පුරන්න පිළිවන්. එවන් විචාර බුද්ධියක් පෙන්වීම පුරුෂයාගෙත් භාර්යාවගෙත් ප්‍රයෝජනයට දායක වෙමින් විවාහ බැම්ම ශක්තිමත් කරයි.