ජීවන ගමනේදී ඔබට මඟ පෙන්වීමට පහනක්
‘යෙහෝවා, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත.’ (යෙරෙමියා 10:23) උපකාරය නොමැතිව ජීවන ගමන සාර්ථකව හැසිරවීමට මිනිසුන්ට නොහැකි බව අනාගතවක්තෘ යෙරෙමියා ඒ වදන්වලින් පැහැදිලි කළා. එවැනි උපකාරයක් සොයාගන්න පුළුවන් කොතැනින්ද? යෙහෝවා දෙවිට කළ යාච්ඤාවකදී, ගීතිකාකරු එයට මෙසේ උත්තර දෙනවා: “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.”—ගීතාවලිය 119:105.
දේවවචනය වන ශුද්ධ බයිබලය අධ්‍යයනය කර, එහි පවසන දේවල් අදාළ කරගන්නාවූ අය අලුයම් කාලයේ ගමනක් ඇරඹූ කෙනෙකුට සමානයි. මුලදී අන්ධකාරය නිසා ඔහුට ඒ තරම් දේවල් පෙනෙන්නේ නැහැ. ඒත් හිරු නැඟ එන විට, ඔහු තව තවත් දේවල් දකිනවා. අන්තිමේදී, හිරු හරියටම හිසට ඉහළින් බබළනවා. ඔහු සෑම දෙයක්ම පැහැදිලි විස්තර ඇතුව දකිනවා. එවන් නිදර්ශනයක්, බයිබල් හිතෝපදේශයක් සිහිපත් කරවනවා: “ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉර මුදුන් වේලාව දක්වා වඩ වඩා ආලෝකවේගන යන්නාවූ අලුයම් ආලෝකය මෙන්ය.”—හිතෝපදේශ 4:18.
දෙවිගේ මඟ පෙන්වීම ප්‍රතික්ෂේප කරන අය ගැන කියන්න පුළුවන් මොනවාද? බයිබලය මෙසේ පවසනවා: “දුෂ්ටයන්ගේ මාර්ගය අන්ධකාරය මෙන්ය. තුමූ කුමකින් පැකිලෙද්දැයි ඔව්හු නොදනිති.” (හිතෝපදේශ 4:19) ඔව්, දුෂ්ටයන් අන්ධකාරයේ බාධාවන්ට මුහුණ දෙන මිනිසෙකු හා සමානයි. “[යෙහෝවාට] විරුද්ධව ප්‍රඥාවක්වත් නුවණක්වත් මන්ත්‍රණයක්වත් නැ[ති]” නිසා, ඔවුන්ගේ පෙනෙන්න තිබෙන සාර්ථකකම පවා තාවකාලිකයි.—හිතෝපදේශ 21:30.
එනිසා, දේවවචනය වන බයිබලය සපයන මඟ පෙන්වීම අනුගමනය කරන්න. ඔබ එසේ කරනවා නම්, හිතෝපදේශ 3:5, 6හි සඳහන් වචනවල සත්‍යතාව ඔබ අද්දකින්න යනවා: “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [යෙහෝවා] කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී [ඔහුව] සලකන්න, එවිට [ඔහු] නුඹේ මාවත් සමතලාකරනවා ඇත.”