රාජ්‍ය ප්‍රකාශකයන්ගේ වාර්තාව
දේවවචනය සතු පවිත්‍ර කිරීමේ බලය
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බොහෝදෙනෙක් පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් නිදහස් වී ආවායින් පසු, නැවතත් තමන්ගේ පුරුදුවලට වැටී තිබෙන බව වාර්තා වී තිබෙනවා. නමුත් දේවවචනයට පුළුවන් සායනවලට සාමාන්‍යයෙන් කරන්න බැරි දේවල් කරන්න. (හෙබ්‍රෙව් 4:12) “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්රකර ගනිමින්, [දෙවි] කෙරෙහි භයින් යුක්තව, ශුද්ධකම සම්පූර්ණකරගනිමු” යන උපදේශය අදාළ කරගන්නත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් ජයගන්නත්, දෙවිගේ වචනයෙන් හා ආත්මයෙන් බොහෝදෙනෙකුට උපකාර ලැබිලා තිබෙනවා.—2 කොරින්ති 7:1.
මියන්මාවෙන් ලැබෙන අද්දැකීමකින් මෙය පැහැදිලි වෙනවා. අවුරුදු ගණනාවක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම අත්හැර දැමීමට මහත් සටනක යෙදුණු මිනිසෙක් මෙහෙම කියනවා: “නහඹර වයසේ ඉඳලම මම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. ඒකෙන් මිදෙන්න මං හුඟක් අවස්ථාවලදී උත්සාහ කළත් මට බැරි වුණා. මත්ද්‍රව්‍ය මිල දී ගන්න මං සොරකම් කරන්න පටන්ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට, 1988දී මාව අවුරුද්දකට සිරගත කළා.
“සිරගෙදරින් නිදහස් වුණායින් පස්සේ, මං ආයෙත් කලින් හිටිය මිතුරන් එක්ක ආශ්‍රය කරන්න පටන්ගත්තා. ඒ එක්කම මං මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ පුරුද්දට ආයෙත් වැටුණා. පවුලේ සාමාජිකයන් මාත් එක්ක තිබුණු හැම සම්බන්ධයක්ම නතර කර දැමීමට, තමාවම විනාශ කරගැනීමේ මේ පුරුද්ද මඟ පෑදුවා. ඒ විතරක් නෙමෙයි, මගේ කැරලිකාර ස්වභාවය නිසා අපේ ගමේ සිටිය හුඟදෙනෙක් මට බය වුණා; ඔවුනුත් මාව මඟහරින්න පටන්ගත්තා.
“එක දවසක් වළක්වන්න බැරි දෙයක් සිදු වුණා—මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් මං වේදනා වින්දා. මාව ආයෙ වතාවක් සිරගත කළා; මේ වතාවේ අවුරුදු තුනකට. සිරගෙදර ජීවිතය ඉතාමත් කටුක එකක් වුණත්, මං කොහොමහරි ඒවා දරාගත්තා.
“සිරගෙදරින් ආපහු ගෙදර ආවාට පස්සේ, පහුගිය කාලයේ කරපු වැරදිවලට සමාව දෙන්න කියලා මං මගේ පවුලේ අයගෙන් ඉල්ලා සිටියා. ඔවුන් ඉතාමත් කරුණාවන්තව මාව ආපහු පිළිගත්තා; ඒත් ආයෙත් කලින් ගත කළ ජීවිතයට යෑමට මගේ මිතුරන් මාව පෙලඹෙව්වා.
“අන්තිමේදී, බයිබලය ගැන උගන්වන පාසැලකට යෑම සඳහා ප්‍රදේශයේ සිටින දේවගැතියෙක් ළඟට යන්න කියලා මගේ ආච්චි කිව්වා. දේවගැතියා එකඟ වුණා. කොහොම වුණත් මං යන්න පටන්ගන්න කලින්, යෙහෝවාගේ සාක්ෂිකාරියක් වන මගේ නැන්දා කිව්වා, ඇත්තටම මට බයිබලය ගැන ඉගෙනගන්න වුවමනා නම්, මං පාඩම් කරන්න ඕනෑ සාක්ෂිකරුවන් එක්කයි කියලා.
“මං රාජ්‍ය ශාලාවට ගියා; මාත් එක්ක බයිබලය පාඩම් කරන්න කැමති වූ මිනිසෙකුට මාව හඳුන්වා දුන්නා. ඇවිත් සිටිය හුඟදෙනෙක් මට උණුසුම් ලෙස ආචාර කළා; ඒ වගේම මාව පිළිගත් බවට හැඟීමක් මා තුළ ඇති කළා.
“බයිබලය පාඩම් කරමින් ක්‍රිස්තියානි රැස්වීම්වලට යන්න පටන්ගත්තායින් පස්සේ, මත්ද්‍රව්‍යවලට තිබුණු දැඩි ආශාව වෙනුවට දෙවිට සමීප වීමේ ආශාව මා තුළ ඇති වුණා. අවුරුද්දකට පසු, මගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කිරීම දක්වා මම දියුණු වෙලා, වතුර බව්තීස්මයෙන් මගේ කැපවීම සංකේතවත් කළා.
“මෑතකදී, ගෙයින් ගෙට යන කොට කලින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි මිතුරන්ගෙන් කෙනෙක්ව මට හමු වුණා. මගේ ජීවිතයේ සිදු වෙලා තියෙන අසාමාන්‍ය වෙනස අදහාගන්න ඔහුට බැරි වුණා. සාක්ෂිදැරීමකට මෙයින් අවස්ථාවක් සැලසුණු අතර, ඔහුට රාජ්‍ය බලාපොරොත්තුව ගැන කතා කරන්න මට පුළුවන් වුණා.
“අන්තිමේදී මම ජීවිතයේ සැබෑ අරමුණ හා තේරුම සොයාගත්තා. දෙවිගේ උපකාරයටත් ඔහුගේ වචනයෙන් ලැබුණු උපදෙස්වලටත් ස්තුතිවන්ත වෙන්න, සදාචාරාත්මක ගතිපැවතුම් විනාශ කර දමන මත්ද්‍රව්‍ය අනිසි භාවිතයේ පුරුද්ද ඉවත් කරගැනීමට අනිත් අයට උපකාර කරන්න දැන් මට පුළුවන්.”