යෙහෝවාගේ සාක්ෂිකරුවෝ බැහැදකින්න එන විට
යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් තමන්ගේ නිවෙස්වලට එන විට, කතෝලිකයන් කළ යුත්තේ මොනවද? ඉතාලියානු බිෂොප්වරුන්ගේ සම්මේලනයේ ජාතික කතිසාරුක කාර්යාංශය මගින් මෑතකදී පිළියෙළ කළ ප්රකාශනයක මෙසේ සඳහන් වෙනවා: “කාරුණික වුවත්, සාකච්ඡාවක් දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම, මේ කාරණයේදී අකාරුණික ක්‍රියාවක් වෙන්නේ නැහැ.”
ඉතාලියේ ෆොජිහි ජීවත් වෙන මිනිසෙකු විසින් දිනපතා පළ වන ගාඩ්සෙටා ඩෙල් මෙඩ්සොජොර්නෝ නමැති පුවත්පතට යැවූ ලිපියක පැහැදිලි කර තිබෙන්නාක් මෙන් කතෝලිකයන් සියලුදෙනාම මෙයට එකඟ වෙන්නේ නැහැ. එහි මෙසේ සඳහන් වෙනවා:
“මම යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් නෙමෙයි. මම කතෝලිකයෙක්. ඒත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව පිළිගන්නේ නැහැ යනුවෙන් ලියා තිබෙන දැන්වීම් තමන්ගේ දොරවල්වල අලවන්න කියා තම බැතිමතුන්ට පැවසීමෙන්, කතෝලික සභාව එහි බැතිමතුන්ට නීති පැනවීම ගැන මට හරි පුදුමයි. මොකද බලං ගියාම, මේ මිනිස්සු කරන්නේ, දේවවචනය දේශනා කරමින්, බයිබලය ගැන ගැඹුරු දැනුමක් ලබාගන්න අනිත් අයට උපකාර කරන එක විතරයි. පල්ලිය මේ වගේ උපදෙස් දෙද්දී, මට මතක් වෙනවා, ඉතාලියේ කොලරා වසංගතය පැතිරී ගිය කාලය හා එයින් වැළකී සිටින ආකාරය ගැන අපිට දුන් උපදෙස් ගැන.
මට හැඟෙන විදිහට මේ නීතිය පැනවීමෙන් පැහැදිලි වන්නේ, කතෝලික සභාව එහි බැතිමතුන්ගේ කැමැත්ත නොසලකා තම අභිමතය පරිදි නීති පනවමින් තමන්ගේ ආධිපත්‍යය මෙහෙයවන බවයි. ඒ වුණත්, දැන් අවුරුදු කිහිපයක සිට, මම දැකලා තියෙනවා, කතෝලිකයන් පවා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ නිවෙස්වලටත් යමින් ගෙයින් ගෙට යනවා; ඒ වගේම එක සාක්ෂිකරුවෙක්වත් ඔවුන්ව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව, ගේ ඇතුළට එන්න කියා, තමන් එක්ක කතා බහ කරන්න ඉඩ දෙනවා.”
තමන්ගේ පණිවිඩය පිළිගන්න කියා යෙහෝවාගේ සාක්ෂිකරුවන් මිනිසුන්ට බල කරන්නේ නැහැ. ඒ වෙනුවට, ඔවුන් උත්සාහ කරන්නේ, ගැටලුවලින් පිරි මේ කාලවල සහනය ගෙන දෙන දෙයක් හැටියට ඔවුන් සොයාගෙන තිබෙන දේවවචනයේ සඳහන් බලාපොරොත්තුව අනිත් අය සමඟ බෙදාගැනීමටයි. ගෙයින් ගෙට යෑමෙන් සහ වීදියේදී ඔවුන්ට හමු වන අය සමඟ කතා කිරීමෙන්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඇහුම්කන් දෙන්න කැමති අය සමඟ දේවරාජ්‍යයේ ශුභාරංචිය බෙදාගන්නවා.—මතෙව් 24:14; ක්‍රියා 5:42; 17:17.