පාලනය කරන්නේ කවුද?
“මේ ලෝකය පාලනය කරන්නේ කවුද?” යමෙක් ඔබගෙන් එම ප්‍රශ්නය ඇහුවා නම්, ඔබ පිළිතුරු දෙන්නේ කොහොමද? භක්තිමත් මිනිසුන් වැඩිදෙනෙක් කියයි “දෙවි” හෝ “යේසුස්” කියලා. බහාමාස්වල පුවත්පතක් වන ද ෆ්‍රීපෝට් නියූස්හි පළ වූ ලිපියක්, වැඩිදෙනෙක් අපේක්ෂා නොකරන පිළිතුරක් දුන්නා.
“මගේ දොරකොඩ පත්‍රිකාවක් තියෙනවා මම දැක්කා” යයි පවසමින් ලිපියේ ලේඛිකාව ආරම්භ කරයි. “සාමාන්‍යයෙන් කවුරුහරි එහෙම දාලා ගිය දෙයක් මම කියවන්නේ නැහැ; හැබැයි ඒ වේලාවෙ මට ඒක කියවන්න හිතුණා. ‘ලෝකය සැබවින් ම පාලනය කරන්නේ කවුද?’ කියලා තේමාවේ අහලා තිබුණා.” මෙම බයිබලය මත පදනම් වූ පත්‍රිකාව කියවීමෙන්, මේ ලෝකයේ පාලකයා දෙවිවත් යේසුස්වත් නෙවෙයි, හැබැයි සාතන් නමැති යක්ෂයා බව මේ ස්ත්‍රිය ඉගෙනගත්තා.—යොහන් 12:31; 14:30; 16:11; 1 යොහන් 5:19.
“ඉතා දුෂ්ට කෲරකම්වල තිබෙන්නා වූ අති දරුණු ස්වභාවය ගැන කල්පනා කරන්න” කියා එම පත්‍රිකාව පැහැදිලි කරයි. “අනුකම්පා විරහිත ආකාරයකින් එකිනෙකාට වද දී ඝාතනය කිරීමට ගෑස් කාමර, දේශපාලන සිර කඳවුරු, ගිනි දැල් විහිදුවන යන්ත්‍ර, නාපාම් බෝම්බ, සහ වෙනත් ඉතා දරුණු ක්‍රම මනුෂ්‍යයන් විසින් භාවිතා කොට ඇත. . . . මනුෂ්‍යයන්ට දාමරික ක්‍රියාවන් සිදු කිරීමට අවශ්‍ය ම යයි හැඟීමක් ඇති වන තත්ත්වයන්ට මුහුණ දීමට සලස්වන්නේ හා ඉතා අප්‍රසන්න වූ එවන් ක්‍රියාවන්ට ඔවුන් ව පොලඹ වන්නේ නැතහොත් යොද වන්නේ කුමන බලවේගයන් ද? සැහැසියාවේ එවන් ක්‍රියාවන් සිදු කිරීමට යම් දුෂ්ට, අදෘශ්‍යමාන බලයක් පුද්ගලයින් ව පොලඹ වනවා යයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේ ද?” බයිබලයේ, සාතන්ව “මේ ලෝකයේ දෙවියා” හැටියට හැඳින්වීම පුදුමයක්ද?—2 කොරින්ති 4:4.
සාතන් හා ඔහුගේ භූතයන් තවදුරටත් නොසිටින්න යන කාලය ඉතාමත්ම ළඟයි කියන එක සන්තෝෂයට කරුණක්. “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.” (1 යොහන් 2:17) ඔව්, දෙවිගේ කැමැත්ත කරන අයට ධර්මිෂ්ඨ නව පොළොවක සදාකාලයටම ජීවත්වීමේ බලාපොරොත්තුවක් තියෙන බවට බයිබලය පොරොන්දු වෙනවා. (ගීතාවලිය 37:9-11; 2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4) සාතන් හා ඔහුගේ භූතයන්ගේ නපුරු බලපෑම ඉවත් කරනු ලැබීම කොයිතරම් සහනයක් වෙයිද!
මෙම කුඩා පත්‍රිකාවේ කරුණු සංක්ෂිප්ත කොට දැක්වීමෙන් පසු, ද ෆ්‍රීපෝට් නියූස් යන ලිපියේ ලේඛිකාව මෙසේ සමාප්ත කරයි: “මම හරිම සන්තෝෂයි ඒ පත්‍රිකාව කියවන්න ලැබිච්ච එක ගැන. . . . මොකද කිව්වොත් මමත් මේ ලෝකයේ තත්වය ගැනත්, පාලනය කරන්නේ කවුද කියන එක ගැනත් සැලකිල්ලක් දක්වලා තියෙනවා.”